Nov 22, 2015

ඇයි අපි ඔ‍ටුවොද?

https://c2.staticflickr.com/4/3441/5814508221_1920da9229_b.jpg
කවදාවත් කමෙන්ට් කරල නැති වුනාට , නිතරම කියවන බ්ලොග් එකක් උඩුවාගේ සටහන්.ඒකෙ අලුත්ම පෝස්ට් එකෙන් කියවෙන්නෙ සමාජයේ පහල ස්ථරයක් ගැන කතාවක් - වීදි සරන ලඳුන් ගැන.

වීදි සරන ලඳුන් නැත්නම් නූතන යුගයේ අම්බපාලිලා ගැන ගීත කීපයක් ලියැවිලා තිබුණත් එයින් හොඳම එක ජොලි සීයගෙ "බජාර් එකේ ලලක්කා" කියලයි මට හිතෙන්නෙ.  ටිකක් අමුවෙන්ම කිව්වත් තිත්ත ඇත්ත ඒක තමා.

බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

මයියොක්ක පිපිඥ්ඤා
වම්බටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

අක්කගෙ අම්ම ඉසක්කා
ඉස්සර එලවළු වික්කා
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
වික්ක නොවික්කා ගානයි මහලු ඉසක්කා




මම දන්න විදිහට වීදි සරන ලඳුන් සහ යාචකයින් ගැන කරපු එකම ප්‍රායෝගික සමාජ සමීක්ෂණය කලේ මහාචාර්ය නන්දසේන රත්නපාල.  අවුරුදු පතා  විශ්වවිද්‍යාල වලින් ටොන් ගණන් උපාධිධාරීන් බිහි වුනත්, අපේ අවාසනාවට, ඊට පස්සෙ කිසිම ප්‍රායෝගික සමාජ විද්වතෙක් බිහිවෙලා නෑ. සමාජ විද්‍යා පොතේ ආචාර්යවරු නම් නිබන්ධන ලියල ඇති, ආචාර්ය පට්ටම් අරගෙනත් ඇති. ඒත් තාමත් බට්ටිලාට , අපේ මහජන සේවකයො පන්න පන්නා නෙලනවා.

"බට්ටිලා, මේනකාලා" බ්ලොග් ලියනවා කියලා මං හිතන්නෙ නෑ, ඒ නිසා මේ අය ගැන දැන  ගන්න, ඔවුන්ගෙ කතා අහන්න, සිතුම් පැතුම් තේරුම් ගන්න තියන ලඟම දේ තමා බටහිර " කෝල් ගර්ල්ස්" ලෙස හඳුන්වන අයගෙ බ්ලොග් බලන එක. එහෙම බැලුවොත් තේරේවි අපි කවුරුත් මනුෂ්‍යයෝ කියලා.

සමාජ කතිකාවට භාජනය වියයුතු ඒත් එත් අපි "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" ගාණට ඉන්න තවත් කොට්ටාශ දෙකක් තමා:

ඇඟලුම් කම්හල් සේවිකාවො
මැදපෙරදිග ගෘහ සේවිකාවො
http://www.mswandas.co.uk/wp-content/uploads/2012/09/ActionAid-factory.jpg


මෙයින් පලමු කොටස වන ඇඟලුම් කම්හල් සේවිකාවන්ගෙ ලිංගික සූරාකෑම ගැන අනුවේදනීය කතාවක් කොළඹ ගමයාගෙ "පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්" පෝස්ට් එකේ කියැවෙනවා.

අදටත් මේ තත්ත්වයෙ වැඩි වෙනසක් වෙලා ඇති කියලා නොසිතෙන්නෙ, රටට විදේශ විනිමය ගේන මේ අසරණියන්ගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කීරීම කෙසේ වෙතත්, ඇඟලුම් කම්හල් සේවිකාවන් දු‍ටුවිට,ඔවුන්ට "ජුකී අක්කලා" නැත්නම් "ගාමන්ට් කෑලි" යැයි පහත් ලෙස කලකන අපේ හුදීජන සමාජ මානසිකත්වයේ පවා වෙනසක් වෙලා නැති නිසයි. දැන් මියගොස් යැයි කියැවෙන  ඉහත කතාවේ සඳහන් වන දේශපාලු වසලයාගේ නම පවා හෙළිවෙන්නේ නෑ.

ඊළඟ කොටස මැදපෙරදිග ගෘහ සේවිකාවො. රිසානාගෙ හිසගසා දැමීමේ සිද්ධියට පස්සෙ පොඩි උණුහුමක් ආවත්, අපේ දේශපාලුවො ඒකෙන් ලස්සනට ලිස්සලා ගිහින් "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" මෝඩ් එකට ආවා.

දැන් නැවතත් සවුදියේ තවත් ශ්‍රි ලාංකික කාන්තාවක් ගල්ගසා මරණයට නියම වෙලා. දැං කාටහරි කියන්න පුළුවන් ඒකිත් " පට්ට වේ****" කියලා. තිත්ත ඇත්ත ඒක නෙමෙයි. අපි ගෑණුන්ව වැඩකාරකම ඇරලා ජොලි කරන මහ ලැජ්ජ නැති ජාතියක්.

"සුජී, දීපන් ඔය ෆෝන් එක ලමයෙකුට". මේ අපේ සමාජ හෘද ශාක්ෂියයි.






10 comments:

  1. මෙච්චර කල් හිතාගෙන හිටියෙ බොලා බස්සෙක් කියලා.. බොලාම කියනවනං ඉතිං ඔටුවෙක් කියලා පිළිගඤ්ඤා..

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල්? බාප්ප දක්කා වගේ සං‍තෝසයි. ඔ‍ටුව නෙමෙයි බස්සා. අර හූම්, හූම් කියන පක්සියා:)

      Delete
  2. මහාචාර්ය නන්දසේන රත්නපාල ගණිකාවන් සහ හිඟන්නන් ගැන කරලා තියෙන පරයේෂණ කෘති දෙක මම හිතන්නේ ලංකාවේ මෙතක් බිහිවුණු විශිෂ්ටම කෘති දෙකක්, අධ්‍යාපනේට සල්ලි වෙන් කරගන්න කෑගහන අතරේම අධ්‍යාපනේ ගුණාත්මක භාවය ඉහල නංවන අධ්‍යාපන කර්මයකට නොයාම අවුලක්.
    ඇඟලුම් කම්හල් සේවිකාවන් ගැන ලියවුනු මේ සිදුව අහලා නැති වෙන්න බෑ

    සප්ත සයුරෙන්

    සප්ත සයුරෙන් එහා
    දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිළියෙන් පිදු
    මව් බිම ධන නිධාන බඳු
    සියල් සිරිලක පරසිදු
    සළු වියනා කුමාරී //

    අම්මා බඳු පෙම්මාදර
    සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්


    කම්හල තුල පවර විපුල්
    හුරු දෑතින් කොමල නිමල්
    කරමි එවර සොඳ මනකල්
    ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

    දෙන්නේ ඇය මව්භුමිය
    රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යව්වනයේ
    සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ
    ඉඳුවම් සිංහාසනයේ //

    නන්දා අනන්දා
    කරවන්නා ලංකාවෙන්
    එම සන්නාලිය නංගා
    දෙස නොබලන් වපරැසකින්

    සප්ත සයුරෙන් එහා ...

    ගායනය : වික්ටර් රත්නායක

    https://www.youtube.com/watch?v=wzYRDua7vLI

    ReplyDelete
    Replies
    1. අද අපි ඉන්න මේ තත්ත්වයට එන්න එකම හේතුව දූෂිත දේශපාලනයේ වරද විතරක්ම නෙමෙයි. ඒ දූෂිතයින්ව පත්කරල ඇරපු , දූෂණය සමාජ සම්මතයක් විදිහට පිලිගත්ත, මිනිස්සුන්ට පොලුවලින් ගහල මරද්දි වටවෙලා නරඹපු අපි හැමෝම මේ අවාසනාවන්ත තත්ත්වයට වගකියන්න ඕනෙ.එහෙම බැලුවාම නං මිනිස්සුන්ව ගල් ගහල මරණ වනචාරී ඔ‍ටුවොන්ගෙයි, අපෙයි වැඩි වෙනසක් නෑ.

      සිංදුව කලිං අහල නෑ ඉවාන්. ස්තූතියි

      Delete
  3. නෑ නෑ ඔයා දැන් ඔටුවෙක්. උඩුවාගේ පෝස්ට් එකත් බලලා ආවා. කොළඹ ගමයාගේ පෝස්ට් එකත් බැලුවා. ගොඩක්ම විශිෂ්ටයි කියලා හිතුණේ ගමයාගේ පෝස්ට් එක.

    ගෑනුන්ට නේ මේ හැමදේම කියලා අන්තිමට හිතුණා.

    ReplyDelete
    Replies
    1. හුහ්,ඔ‍ටුවා? ඔ‍ටුවො කවදද , ආයිබොං පියෑඹුවෙ?:)

      //ගෑනුන්ට නේ මේ හැමදේම කියලා අන්තිමට හිතුණා//

      අනේද කියන්නෙ? එහෙම නොහිතුනා නං තමා පුදුමෙ. :).සමාජ සත්කාර කරන්න ගිහිලා"charity my foot" බැනුං අහගන්න පක්සියො ගැන ඔය අනුකම්පාව නැති එක නොවැ පුදුමෙ?

      Delete
  4. නිකම් නෙමෙයි බැක්ට්‍රියන් ඔටුවෙක්. ඌටත් වඩා මං හිතන්නෙ. මොල්ලි ගොඩයි. මල්ටි ටැලන්ටඩ්. මල්ටිපල් පර්සැනිලිටිද මංද? :-D

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා පෝස්ට් එකක් ලිව්වා මදෑ, දුන්නා නේද ඔ‍ටු නම්බුනාමෙ? නිකංම ඔ‍ටුව නං කාරි නෑ, බැක්ට්‍රියන් ඔ‍ටුව :D

      මීට හොඳා දන්න කරුමාන්තයක් කොරගෙන ඉන්නවා
      ඉඳිගහ යට වාඩිවෙලා පුරවාගෙන බඳුන් අඩුක්කූ
      අරාබියේ මරුකතරේ මඟියන්නේ පවස වැලැක්කු...:)

      Delete
  5. බස්සා ඔටුවෙක් වෙලා තියෙන්නේ මේක හයිබ්‍රිඩ් ආණ්ඩුවක් නිසා.ඒ නිසා එකේ අවුලක් නැහැ.

    කොහොම වෙතත් අපේ ගැණු ගැන සමාජයේ තියෙන ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියන එක නම් ඇත්ත.හැබැටම මේ රට දුවන්නේ දේශප්‍රේමි දේශපාලකයෝ නිසා නෙමේ ගාමන්ට් වල දුක්විඳින,මැදපෙරදිග ගිහින් මැරෙන අපේම අක්කලා,නංගිලා නිසයි.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code