Jul 23, 2021

හිතේ ඇඳුනු කෙටි කතාවක්

කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.
ජැකා කොහේ අල්ලන්නද, අපෙ මැතිඳාගෙ නැට්ට
හුරේ රන් එකක් දුන්නා, යයි මැතිඳා හැටේ හැටට    

කතාවක් නියම විදිහට රසවිඳින්න නං, ඒ පරිසරය, ජීවන රටාව හොයල බලල, කතාවට බහින්න ඕනෙ කියල කිව්වෙ , අපේ ප්‍රාජේ මැතිදා. උන්නැහේ නං කෙලින්ම බහින්නෙ, වික්ටෝරියානු එංගලාන්තෙට. බැහැල, cobblestone ගල් අල්ලපු, ගෑස් ලාම්පු කණාමැදිරි එලි වැටිච්ච, ටොක-ටොක ගගා අස්ප කරත්ත යන, ගල් අඟුරු දුම සහ මීදුමෙන් වැහිච්ච ලංඩන් නගරෙ, අඳුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. ආන්න එහෙම යනකොට තමා, Jack the Ripper පස්සෙන් පන්නන් ඇවිත් තියෙන්නෙ. නෑ, අහුවෙලා නෑ, ඔය දෙන්නෙ හුරේ රන් එකක්.

මේ කතාවට බහින්න, එහෙම අමුතුවෙන් හොයන්න දෙයක් නෑ, ඔක්කොම අපි දන්න යටගිය දවස, හද්ද පිටිසර ගැමි ජීවිතය. බොහොම සැහැල්ලු කියවීමක්, බලන්න, මේ කතාව ගැනම, මම කලින් පෝස්ට් එකක් ලියල තියන නිසාත්, කව්දෝ පිංවතෙක් මහන්සි වෙලා කොටලා තියන නිසාත් ලින්ක් එක විතරක් දාන්නම්:

තනිකම - පිළිරුව - සාගර පලන්සුරිය(කේයස්)


මේ කතාවෙ, ඉන්න තැපැල් මහත්තයා අපේ ජීවිතේට සමීපයි, "ගොඩට ගත් මාළුවෙකු මෙන් , දියට ලු බළලෙකු මෙන් අමුපතනයන්ට නොසැසඳී අමාරුවෙන් කල් ගෙවයි". ඔහෙලට කොහොමද මන්දා, උත්තරධ්‍රැවය කිට්ටුවට ගිහින් දාපු, ඝර්මකලාපීය මූකං බස්සෙකුට නං ඒක හොඳටම සමීපයි. මේ කතාවෙ තැපැල් මහත්තයා හා සූටි අතර තියෙන සම්බන්ධය සංකීර්ණයි ඒත් සුන්දරයි. Agape Love කියන්නෙ ඒකට වෙන්ටෑ? "Who gives a hoot about love" කියපු බස්සෙකුට, මේක පැහැදිලි කරන්න තේරෙන්නෙ නං නෑ. කතාවෙ කියවෙනවා, නවසිය බර ගණන්වල ඈත අතීතයේ පවා " ඔන්-ලයින්" ඕඩර් කරලා, මිලදී ගැනීමේ තාක්ෂණය තිබ්බ බව. ඒ දවස්වල ඒකට "V.P" කියලලු කිව්වෙ. 



මේ කතාවට ලඟින් යන, සිත සසල කල, ඒත් සත්‍ය සිදුවීමක්, කාලෙකට ඉස්සර කියවන්න ලැබුනා. දුප්පත් නව යොවුන් තරුණියක් එනවා ගෙදරක වැඩකාර කමට. ගෙදර ඉන්න තරුණ හාම්පුතා දකිනවා, තරුණිය , ආසාවෙන් ඉංග්‍රීසි පොත් දිහා බලාගෙන ඉන්නව. වචනයේ පරිසමාප්තයෙන්ම මහත්තයෙක් වන ඔහු, ඒ පිළිබඳව විපරං කරනවා. තරුණියට ඉංග්‍රීසි බෑ. ඔහු ඈට  ඉංග්‍රීසි උගන්නනවා. කුස්සියේ වැඩ ඉවර කරපු ගමන්, තරුණිය බලාගෙන ඉන්නවා, තම ගුරුවරයා එනතෙක්. 

කාලය ගලාගෙන යනවා, ඉර පායනවා, මල් පිපෙනවා, බස්සො "හූම් " කියනවා. ඒ වෙනකොට විවාහක දුප්පත් තරුණිය, තම දරු දෙන්නා කම්කරු සැමියා ලඟ තියලා, රට යනවා. පැහැදිලිවම, දක්ෂ තැනැත්තියක් වෙච්ච ඇයට පිටරටදී සෑහෙන හොඳ රැකියාවක් ලැබෙනවා. ගෙවල් දොරවල් හදා ගෙන දියුණු වෙච්ච තරුණිය, කාලෙක පස්සෙ එනවා, තම ගුරුවරයව බලන්න. ඇවිත් දණ ගහලා වඳිනවා. බාල දැරියන්ට, ටිංකිරි කවන, " දැරිය කරේ" කියල, කොලේ වහල ගහන, " අනිත්‍ රටවල් වලට සාපේක්ෂව, අපේ අඩුයි" කියල ප්‍රකාශ නිකුත් කරන රටක, තාම "මහත්තුරුත්" ඉන්නවා කියන එක හිතට සැනසිල්ලක්.
Living is easy, eyes closed
ඉස්කෝලෙ යන කාලෙ පින්සලක් අතින්වත් නාල්ලපු බස්සෙක්ව, චිත්‍ර ශිල්පියෙක් කරන්න උනන්දු කලේ මේ කෙටි කතාවයි. පලවෙනි වෑයම නං, ලත් තැනම ලොප් වුනා. මෙදා පොටේ, ඔහේ තාම ඇදගෙන යනවා. යම්කිසි දියුණුවක් නැත්තෙමත් නෑ. මේ කතාවට චිත්‍ර කීපයකුත් තිබ්බ නං පංකාදුයි.

අද වෙනකොට ඩිජිටල් චිත්‍ර ශිල්ප තාක්ෂණය බොහෝ දුර ඇවිත් තියනවා. ඔයිල්, දිය සායම්, පැස්ටල් මේ ඕනෑම පින්සලක් තෝරා ගෙන, ඇත්තම කැන්වස් එකකට බොහෝ දුරට සමානව චිත්‍ර අඳින්න හැකියාව තියනවා. එකම අවුල, හෑන්ඩ්-අයි කෝඩිනේෂන් එක මොලේට පුහුණු කරවන එක. කෙලින් ඉරක් අඳින්න, කොන් දෙක හාවෙන්න වෘතයක් අඳින්න පුළුවන් වෙනකං, හොඳ චිත්‍ර අඳිනව බොරු.
මධ්‍ය කාලීන යුරෝපයේ, වෙළදාමෙන් ධනවත් වෙච්ච ඇම්ස්ටඩෑම් වගේ නගරවල හිටි "ඕල්ඩ් මාස්ටර්ස්ල" නව ඔයිල් පේන්ටින් චිත්‍ර කලාවක් බිහිකලා. ආලෝකය සහ අඳුර මුසු වෙච්ච මේ කලාවට ඇඳපු ප්‍රසිද්ධ චිත්‍රයක් තමා මේ " The Night Watch". මේ චිත්‍රයෙ, ඇඳුම්වල තියෙන කැටයම්, කොච්චර සියුම්ද, විස්තර සහිතද කියල දැක්කාම පුදුම හිතෙනවා. ඒක හරියට බලන්න මෙතනින්
Dutch Golden Age කියල හැඳින්වෙන මේ කාලයෙම, තව චිත්‍රයක් තමා මේ "The Milkmaid". නෑ, නෑ ටිංකිරි නෙමෙයි. මේ මේඩ් ගිණි තියාගත්තද කියල නං සඳහන් වෙලා තිබ්බෙ නෑ. චිත්‍රය හොඳින් බලන්න මෙතනින්.

සරල කාටූන් කලාවෙ ක්‍රමවේදය මෙයිට වෙනස්. වැඩේ ලේසි නිසා මට ගැලපෙන්නෙ ඒක. අපේ දේශීය කාටුන් කලාවෙ, මම කැමතිම සිබිල් වෙත්තසිංහ මහත්මියට. හොඳට බැලුවොත් පේනවා, ඇගේ කාටුන්වල , සරල බවට එහා ගිය දෙයක් තියනවා කියලා. ඈ භාවිතා කරල තියෙන්නෙ "මැදුම් පිලිවෙත." ඒ ඇඳුම් වල පවා , යම් පමණකට සියුම් මෝස්තර, විස්තර තියනවා. ඇගේ චිත්‍ර, සරල කාටුන් වලට වඩා ලස්සන ඒ නිසයි කියලයි මට හිතෙන්නෙ.
දිය සායම් වලින් චිත්‍ර ඇඳපු ඇය, මේ චිත්‍ර අඳින්න බොහොම මහන්සි වෙන්න ඇති. ඇයි, හැම මෝස්තරේම අතින්ම අඳින්න එපැයි? ඒත් ඩිජිටල් ආටිස්ට්ලට එහෙම අවශ්‍ය නෑ. මෝස්තර ටොන් ගාණක් ඉන්ටනෙට් එකේ තියන නිසා. කොපිකලා, ඇලෙව්වා, එච්චරයි. එකම අවුල, අවුල් කම්මැලිකමට බේත් ඉන්ටනෙට් එකේ නැතිකම විතරමයි.


Side Note: ඇඳුම් වලට මෝස්තර දැමීමෙ කලාවේ, 
තව ඉස්සරහට යන්න කැමති කට්ටියට:

114 comments:

  1. සාගර පලන්සුරිය මහත්මයා පෙර සිවුරු දරාපු උන්නාසේ කෙනෙක් නම කළල්ඇල්ලේ ආනන්ද සාගර. මහනකමේ ඉන්න අතර පත්තර වලට ලිපි ලියද්දී ඒක කෙටිකරලා කේඑස් කියා දැම්ම එක තමා කේයස් වුනේ කියලා අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. උපන් කවියෙක් වගේම උගතෙක්, ලේඛකයෙක්. දෙපාරක්ම සිවුරු අරිනවා.

      Delete
    2. සාගර පලන්සුරිය වරක් හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත්වූවා. ඒ 1956 දී පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයා ලෙසට.

      Delete
  2. ගාන දැක්කාම හිල්ලුනා.... ඔයVEIKK A15 Pro ගජමැටික් ගන්න ඩොලර් තියා සුපියල්වත් නැති අපිට කොල කැල්ලක අදින එක ලාබයි.
    කෝ මේ කොමිටල් ඩ්‍රැකි පරපුර .....

    ReplyDelete
    Replies
    1. ඇයි බොලං ගෙඩි සුපියල් 59 නෙව, ආං ඇමසන් එකේ තියනව 30$ අඩු කරලා? මෙහෙට ටැක්ස් නෑ, ප්‍රී ෂිපින්. හ්ම් ලංකාවට වෙනස්ද? Wacom එක්ක බැලුවාම ලාබයි. තව අඩු ඒවත් ඇති. ගන්නව නං, බැටරි නොදාන පෑන තියෙන එකක් වැදගත්. ප්‍රෙෂර් සෙන්සිටිවිටි විතරමයි, ටිකක් හරි ප්‍රයෝජන. අනිත් ආරලු-බූරලු එකක්වත් අත්‍යාවශ්ය නෑ.

      ඩ්‍රැකී පරපුර එන්නෙ රෑට, නිසාචරයො නෙව?

      Delete
    2. අද නැගිටිනකොට 9:00 යි. මදැයි ඒ් ටිකට මෙතන පෙරහැරක් ගිහිං නෙව. හෙට විභාගෙ. අනිද්ද විතර එන්නං මොකෑ උනේ බලන්ඩ.

      Delete
    3. ඔව්,ඔව් ඒකට ප්‍රමුඛත්වය දියං. අපිට පස්සෙ බැරියෑ ආතල් ගන්න.

      අනික උඹේ අවතාර දෙක ඉන්නෙ, වැඩ බලන්න.🤣

      Delete
    4. මූ බොරු කොන්ඩේ පීරලා යන පොන්සි ගමන හැඩවෙලා
      ඩ්‍රැකියාගේ මිහිරියාව බිලොග් ලොවට එළි කලා..
      හැක් හැක් අනිද්දා ? නෑවිත් උන්නාම හොදා.

      Delete
    5. පුන් සඳ පායපු මහ රෑක
      ගඟ ලඟ ඉඳිකල පොඩි ගේක
      නැති කර ගන්නට දුක සෝක
      මූ, හැමදාමත් කොරනව ඕක

      Delete
    6. කොච්චර වුනත්, නැති එක නං පාඩුයි. ඒත් විභාගෙ ඒ ඔක්කොටම වඩා වැදගත් නෙව?

      Delete
    7. ඩ්‍රැකියා නොමැති කල - වම්පා කවර් කළ!

      Delete
    8. //නැති කර ගන්නට දුක සෝක
      මූ, හැමදාමත් කොරනව ඕක//

      මොකද්ද හැමදාම කොළේ?
      හොරට පාඩං කරන එකද?

      Delete
    9. මල් ඔතනෝ ඌ මල් ඔතනෝ
      වටපිට බල,බල මල් ඔතනෝ

      Delete
    10. අන්තිමට ම මල් දැක්කෙ පහුගිය පළාත් පාලන ඡන්දෙදි... ඊට පස්සෙ දෑැහට දැක්කෙ නෑ ඕං.

      Delete
    11. මේ පනික්කලෙත් ඔව්වට, රුංද ගති ගතං😊

      Delete
    12. නියමයි. බලාගෙන මම නොබලපු කොමඩි සෑහෙන්න තියනවා.

      අපේ ජස්ටියා ඔව්වා ලීගල් කරා නෙව. ඒත් ඊට කලින් ඉඳලම මෙහෙ හිඟයක් තිබ්බෙ නෑ. එපා'ට්මන්ට් එකේ කලු මල්ලියා, සමහර වෙලා පාවෙලා යනවා, ඇස් ඩිම් කරගෙන. ඕන්න එතකොට එනවා අර ගඳ. බැක් යාඩ් එකේ, ගාබේජ් බින් එක රේඩ් කරන්න නිතරම කඩා වදින උරුලෑ/ හෝතම්බු හමුදාවවත් උන්ට කිට්ටු වෙන්නෙ නෑ.

      Delete
  3. https://www.pinterest.com/pin/200339883400879819/

    ReplyDelete
    Replies
    1. අඩේ, ඒ බකුසු පිංතූරෙ නියමයිනෙ. නිකං පච්ච සිරා - බකුසු වර්ෂන් එක වගෙ.

      Oh, by the way, did I get your Lordships' nose correct, this time?

      Delete
    2. My nose and eyes seem to be okay. I have been told that mine resemble my boxer's eyes.
      But, various and diverse vampires seem to be the experts about my looks. Ask them.

      Delete
    3. Sure, I will. Its always feels good to take a second opinion. Specially, from the un-dead.

      Puppy eyes, eh? Apparently, seems like a compliment.🤔

      Delete
    4. Nose and eyes seem ok... but the bulk seems to be bulkier...

      Delete
    5. Yeah, I got the same impression too.😒

      Delete
    6. let's say it's the impact from Jack!... no worries

      Delete
    7. ඇයි වාහෙ, අඩු ගානෙ ගිහින් ටිකක් පාඩම් කරලවත් වරෙන්.

      Delete
    8. I did and and foundthis. Still cute, if you ask me.

      Delete
  4. https://owlcation.com/humanities/The-Jack-the-Ripper-Industry


    https://www.jtrforums.com/forum/persons-of-interest-or-actual-suspects/contemporary-theories/22615-jack-the-owl-eyed-child-ripper-theory

    ReplyDelete
    Replies
    1. මේක නං හෙමීට බලන්න ඕනෙ විස්තර ටිකක්.🤔

      Delete
  5. මේ දවස්වල වෙන වැඩක් නැතිවෙලාවට කොමික්ස් ඩවුන්ලෝඩ් කරනව (200GB වලට කිට්ටුයි දැන් කවද කියවන්නද මංදා ).
    හුගක් ග්‍රැෆික් නවල්වල අග ඩ්‍රෝයින් ඉතිහාසය ස්කෙච් තියනව.


    Try giving a hoot for unnailed love !

    ReplyDelete
    Replies
    1. මගේ තියෙන්නෙ Tb වලින්, හැබැයි ඇනිමෙ. TinTin විතරමයි කොමික්ස් එකකට තියෙන්නෙ.

      Nah, it won't work for me. I tried, nailing comes first, then the love.😊

      Delete
    2. Not all are nail oriented. Keep an open mind

      Delete
    3. I agree, not all but most of them are. Everything has a price, and sometimes the trade-off is not exactly in your favour.

      මං ටිකක් කටේ ගෑවොත්
      ඔන්න තොවිලයක්, අම්මපා

      No, thanks. I'm good.

      Delete
    4. You have had extremists I think.
      Go for liberals

      Delete
  6. Agape ලව් ඇහැව්වාමයි ඔය. Gaping gap නම් ඉතින්...
    Agave ( blue ) වලින් හදන ඩ්‍රින්ක් නම් ෆේවරිට් මගෙ

    ReplyDelete
    Replies
    1. පේන විදිහට Agape, බයිබලයෙන් එන වචනයක්. බොහෝ විට දෙයියො සම්බන්ධව යොදාගන්නව.ඒත් පොදු ව්‍යවහාරෙදි - selfless, unconditional love without sexual relationship කියල තමයි කියන්නෙ. ටිකක් unrealistic ගතියකුත්, නැත්තෙම නෑ.

      //Agave ( blue ) වලින් හදන ඩ්‍රින්ක්//
      මම අමද්‍යප පක්සියා, මිදි වලින් පෙරන එක විතරමයි බොන්නෙ.

      Delete
    2. Difficult to afford wine with taxes in this blessed isle. Can't afford anyother imported stuff either. But, sipping the Mexican elixir is my favourite.

      Delete
    3. I like many. Unlike many people who drink, I savour the taste of my drink. So it is neat and long for me. No mixing and no quick shots.

      Delete
    4. I see, that you are a true "Man of culture", Milord. Thanks to my beloved, late father, who loved his drinks more than anything in the whole wide world, I couldn't master the art of enjoying "God given" elixir, ever.

      Delete
  7. තනිකම කතාවත් කියවීමි; ආසාවෙන්.
    ඉස්සර ජීව භාෂාව පොතෙන් එය කියවද්දී නොසිතුණු දෙයක් මෙවර සිහියට නැඟිණි. එය ලියා තිබෙන්නේත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මාගේ රචනා විලාසයෙනි.

    ඒ වාගෙමයි තව සිතිවිල්ලකි හිතුණේ
    'සිත්තම් ගැජට්' සුපිරියි වාගෙය හැඟුණේ
    ඇහුවට තරහ විය යුතු නැත - ඒ වරුණේ
    ලිව්වට 'කොමිස්' එහෙමත් ලැබෙනව ඇතිනේ!

    ReplyDelete
    Replies
    1. නිදි, සිල්වා මහත්තයගෙ "යකාගෙ ලියුම" කියවල තියනවද? ඒක මගේ තවත් මැනිකක්.pdf කොපිය මා ගාව තියනවා.

      මොන කොමිස්ද, ලොකා. මේකට වඩා ලාබ XP Pen කියල එකකුත් තියනවා. මේවා ඔක්කොම ටූල්ස් විතරයි.

      Delete
    2. කියවලා තියෙනවා... ඒත් ආයෙම කියවන්න ආසයි, එවනවද මහත්තයෝ තරහ නැතිව?

      mrnimaldissanayake@gmail.com

      Delete
    3. අයියෝ සුලු දෙයක් නෙව? මෙන්න ලින්ක් එක, අනිත් අයටත් එක්කම. පට්ට කතාව.

      ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මාගේ යකාගෙ ලියුම

      Delete
    4. මට හිතෙනව සුදෝසුදු, රොමාගෙ වාසනාව, තනිකම වගේම මේකත් චායානුවර්තනයක් කියල. මම දහ අතේ බැලුව ඔරිජිනල් එක හොයාගන්න, ම්හු... ලැබුනෙ නෑ කිසිම හෝඩුවාවක්.

      මගේ පොඩි මෙව්වා එකක් තියනවා, ලංකාවෙ ඔය වකවානුව ගැන. මේ කතා, ආයෙ ඒකාලෙට ගොඩ බහින "ටයිම් මැෂින්" එකක් වගෙයි. ඉස්සරහට පුලුවන් වුනොත් චිත්‍ර අඳින්න කැමැත්ත්කුත් තියනවා.

      Delete
    5. මේං මෙතන තියෙනව ඩබ්ලිව් ඒ සිල්ව මහත්තෙයගෙ තව කතාවක් ඔය වගේම...

      Delete
    6. නියමයි. මම මේක කියවල නෑ, ඒත් ඔරිජිනල් එක "The jailbird" කියවල තියනව. මම කැමති සිල්ව මහත්තයගෙ භාෂා රටාවටයි. ඒත් හැම එකක්ම, එක වගේ රස නෑ. මතක විදිහට "පාසැල් ගුරුවරී" කියවන්න ගියාට එච්චරම නැගල ගියේ නෑ.

      Delete
    7. පාසල් ගුරුවරී පළවෙනි එක නේ? ඒකෙ චිත්‍රපටියකුත් තිබුණ වගේ මතකයි.

      Delete
    8. අනික් ඩ්‍රැකා නැතුව දැනටම පාලුයි අප්පා...

      Delete
    9. පලවෙනි එක "සිරියලතා". තව "ජූලි හත" කියල මාරක රහස් පරීක්ෂක කතාවකුත් තිබුනා. ඒත් හොඳම කෙටි කතා තමයි;

      ඩබ්ලිව්.ඒ. සිල්වා Wiki

      පාලු නැතෑ, බොගෙ අනිත් බාගෙ නෙව? හිටියනං මෙලහට තව කතා සැට් එකක්ම ලියල.😒

      Delete
    10. "හිඟන කොල්ලා" නං පට්ට. මෙන්න මතක කොටසක්.

      හිඟන්නා වුනාට මගේ තාත්තා අලි හොරා. එයා හිඟාකන කොට මෙහෙම කියනවා: මම මේ දැන් ඔහෙලට අත පෑවට ට,මම හින්නගන්නෙක් නෙමෙයි. අන්තිම වතාවෙ හිමාලෙ අනෝතප්ප විල දිහාවෙ වන්දනාවෙ ගිය වෙලේ, විලේ ආරක්සාවට හිටපු නාග රාජයා
      මාව දැකල පෙනේ පුප්පල විස දුමක් අරින්න ලෑස්ත් වුනා. මම සර්දාවන්තයෙක් බව ඇඟෙව්වාම, පෙන හතම බාගත්තා කුඩේ අකුලනවා වගේ. මොකද නැත්තෙ, මිනිස්සු අහනවා සත්තු කතාකලේ කොහොමද කියලා. ඒත් එයාගාව එව්වට උත්තර තියනවා විතරක් නෙමෙයි,ඇල් වතුරත්, අනෝතප්ප විලෙන් ගෙනාපු වතුර කියල විකුණලයි, වැඩේ ඉවර කරන්නෙ.

      තව අර හිඟන්නොන්ට ලැබෙන "මල දානෙ" ගැන කියන කොටසත් මාරයි

      Delete
    11. ජූලි 7 කියන්නෙ පට්ටම රහස් පරීක්ෂක කතාවක්. ඒකෙ උන්නා සාජන්ට් රණතුංග යි ඉන්ස්පෙක්ටර් කෙනෙකුයි (නම මතක නෑ) කොන්ස්ටැබල් ද වාස් සුයි. ඔය තුන් දෙනා ම හිටපු කෙටි කතාවක් තිබුණා “වෙඩිල්ල“ කියල. ඒකත් පට්ට කතාවක්. නියම ක්ලැසික් කියන්නෙ, රහස් පරීක්ෂක කතාවක තියෙන ඉඟි හංගන්න භාවිත කරන භාෂා ප්‍රෙයා්ග සෑහෙන පමණ ඒ කතා දෙකේ තිබුණා.

      ඔන්න, හෙණ සෙනඟක් ඉන්න තැනක, බයිසිකලයක් පැදගෙන එකෙක් එනව. එයා මොකද්දෝ අරං එල්ල කරනව. ඒ ගමං ම වෙඩි හඬක් නැගෙනව. එතනදි සිල්වා කියනව, “එල්ල කළේ පිස්තෝලයක් බවත්, වෙඩි තැබුණේ තාප්පයට පිට දී හිටපු මනුස්සයෙකුට බවත් හැමෝ ම දැක්ක“ කියල. පස්සෙ එතන මහ කළබලයක්. ඒ කළබලේ විස්තර කරනව, සිල්වා.

      පස්සෙ පොලිසියට අරූ අල්ලං ගියාට පස්සෙ තමයි කියන්නෙ, අර එල්ල කරපු පිස්තෝලෙ වෙඩි තියන්ඩ බැරි එකක් කියල...

      සයියගෙ පියා වයියා හෙවත් දියතලං, ගෙ මගෝඩි වැඩ මට මතකයි හිඟන කොල්ලා එකේ. මං මේ සෑහෙන කාලෙක ඉඳං ඒකෙ ෆිල්ම් එක හොයනව, ජෝ අබේවික්‍රම හිටපු. ඕකෙ තිබුණා හිඟන්නංගෙ රහස් භාෂෘවක් ගැන. පස්සෙ කාලෙක ප්‍රොෙෆස රත්නපාල කියල තිබුණා, ඇත්තටම එහෙම භාෂෘවක් තියෙනව කියල...

      Delete
    12. ආන්න හරි - මම සයියා, මගේ පියා හිඟන රැලේ නායකයා වයියා. සයියා, පොඩිකාලෙ හොරකම් කරලා හිඟන්නොන්ට වික්ක දරුවෙක්. ඒවා ඇත්තටම වෙලා තියනවා, සිල්වා මහත්තයගෙ පොත්වල, ඒ වකවානුවෙ ජීවන රටාව සෑහෙන නිවැරදි ලෙස තියනව කියල, මට හිතෙනව.

      ප්‍රොපෙසර් රත්තපාල තමා අපට හිටපු එකම රියල් සමාජ විද්‍යාඥයා. එයා පොත ලියන්න, වෙස්වලාගෙන හිඟා කෑවලු. අද ලංකාවෙ අර්බුදයට, එකම වැරදි කාරයො දේසපාලු උන්නැහේලා විතරක් නෙමෙයි. එයාල දෙන්නෙ, ජනතාව ඉල්ලන දේ. මේ ස්වයං විනාශකාරී සමාජ-සම්මත, සමාජ-ආකල්ප (social norms) වෙනස් කරගන්න, සමාජ විද්‍යාඥයකුට හොඳ දායකත්ත්වයක් දෙන්න පුළුවනි. අවාසනාවට, කැම්පස් වලින් ඊට පස්සෙ සමාජ විද්‍යාඥයො බිහිවුනේ නෑ.

      හිඟන රැහැ/රැළ , පාතාලේ හිඟන මුදලාලිලා බවට පත්වුනා. කුඩු මුදලාලිලා නාකොටික් එකේ ශෙයාර්ස් ගත්තා. පාතාලය දියවන්නාවට රිංගුවා. පොසොන් පෝයට මරන්න හිටිය හරකෙක් නිදහස් කලා. "ලිස්ට්" එකේ මහා සංඝ "රත්නෙත්" වැඩ සිටියා. දැන් රහතන් වහන්සෙලාත් බිහිවෙනව නේද?

      සාදු. සාදු. සා........

      Delete
    13. මදැයි කොලා.... යකාගේ ලියුම විතරක් කියවලා නිකං හිටියෑකියැ? ඩ්රැකී වම්හ කියාපු එකයි... සේරම අලුත් කමෙන්ට්ස් ටිකයි කියෙව්වයි කියමුකෝ.
      රහස් පරීක්ෂක කතා මතක් කළ අයට සිල්වා මහත්තයාගේ 'රිදී හවඩිය' අමතක වුණේ ඇයි? ගෙදර අල්මාරියේ යතුරු කටේම යතුර තියෙන හැටි දැකලා 'ඒ කතාවට වස්තු බීජය' හිතට ආවාලු!

      Delete
    14. අපට කොයින්දෑ පූසො මාළු, අපි යනවැයි මූදූ?

      ඉස්සර කපුටා.lk එකෙන් සාධාරණ ගානකට පොත් ගෙන්න ගන්න පුළුවන්කම තිබ්බා. පස්සෙ එටිසලාට් එකත් හවුලෙ BookHub.lk කියල සිංහල eBook සයිට් එකකුත් තිබුනා. මගේ පොත් බඩගින්න දැකලා, පිංවතෙක් "රොමාගෙ වාසනාව" පරිත්‍යාග කලා.

      දැන් ඒ ආතල් නෑ. ආයෙත් මායි, මගේ මතකයයි විතරමයි.

      Delete
    15. // ඒකෙ උන්නා සාජන්ට් රණතුංග යි ඉන්ස්පෙක්ටර් කෙනෙකුයි (නම මතක නෑ) කොන්ස්ටැබල් ද වාස් සුයි //

      ඉන්ස්පෙක්ටර් වීරමන් නෙව ද? ඔය තුන්දෙනාම තමා රිදී හවඩියෙත් ඉන්නෙ. සාජන්ට් රණතුංග තමා වැඩ්ඩා.

      ජූලි හත තමා සිල්වා උන්නැහෙගෙ මම කැමැතිම පොත. කතාව ගොඩනැංවීම අන්තිම ඉහළයි. අවසානය වෙනකංම හිතාගන්ට බෑ කවුද මිනීමරුවා කියලා.

      Delete
    16. මෙච්චරම කියන එකේ. මාත් ඕක බලන්න ඕනෙ කියල හිතුනා.

      Delete
    17. මේං මෙතන පොත් ටිකක් තියෙනව

      Delete
    18. https://pothsl.com/book-author/w-a-silva-%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A-%E0%B6%92-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F/

      Delete
    19. බුරෝ,
      ‍‍වීරමන් කියන්නෙත් කොන්ස්ටැබල් කෙනෙක් කියලයි මතක. අරයා ඉන්ස්පැක්ටර් සමරසේන. තව උන්නා, සුපරිංටැන්ඩන්ට් කාලයිල්...

      Delete
    20. ඔ්ං බලන්ඩ නිදි, මට කියවන්ඩ හම්බෙලා ම නෑ හවඩිය...

      Delete
    21. මේං මෙතන තියෙනව වෙඩිල්ල කෙටිකතාව... කියවලා බලන්ඩලා...

      Delete
    22. ලින්ක් දුන්නට, අපිට කොහෙද එහෙම පිනක්😒

      Delete
  8. //නවසිය බර ගණන්වල ඈත අතීතයේ පවා " ඔන්-ලයින්" ඕඩර් කරලා, මිලදී ගැනීමේ තාක්ෂණය තිබ්බ බව. ඒ දවස්වල ඒකට "V.P" කියලලු කිව්වෙ. //

    ඒකට VP කියලා නොවෙයි, VPP කියලයි කිව්වේ. සිංහලෙන් කියනවනම්, Value Payable Post කියලයි.

    බඩුවක් ඕඩර් කලාම, (ඒක සිද්ද වෙන්නේත් ලියුමක්/විදුලි පුවතක්/ටෙලිපෝන් පණිවිඩයක් මගින්) මුදල් ගෙවීමකින් තොරවම, ඒ බඩුව ගැනුම්කරුගේ ලිපිනයට තැපෑල මගින් යවනවා. නමුත්, ඒක අදාළ තැපැල් කන්තෝරුව මගින් ගැනුම් කරුට ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට, ගැනුම්කරුට VPP බඩුවක් ඇවිත් තියන බවත්, ඒ සඳහා ගෙවිය යුතු මුදලත් සඳහන් පත්‍රිකාවක් තැපැල්කරු මගින් ලබා දෙනවා. එවිට ගැනුම් කරු ඉහතකී තැපැල් කාර්යාලයට ගොස් නියමිත මුදල ගෙවා ඒ බඩුව රැගෙන යා යුතුයි. සතියක් දෙකක් යනතුරුත් මේක අරං ගියේ නැතිනම්, දෙවන සිහි කැඳවීමේ පත්‍රිකාවකුත්, එය ලබා ගත හැකි අවසාන දිනයකුත් ලබා දෙනවා. ඒ දිනය දක්වාත් මේක අරගත්තේ නැත්නම්, මේ බඩුව ආපසු sender වෙත යවනවා.

    හැම දෙනාටම VPP භාණ්ඩ තැපැල් මගින් "යැවීමේ" හැකියාව නැහැ. ඒ සඳහා තැපෑලේ ලියාපදිංචි ආයතන වලට පමණයි ඉඩ ලැබෙන්නේ.

    මේක online order එකකට වඩා, ebay/amazon click and collect ක්‍රමය ට තමයි වඩාත්ම සමාන කමක් දක්වන්නේ.

    ලංකාවේ VPP නැවත්තුවේ කොයි කාලේද කියලා මම නං දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අම්මපා "තව දාහක්" වටිනවා. මේ තියෙන්නෙ VPP වංසකතාවම. බොහොම ස්තූතියි, දීර්ඝ ඒත් වටිනා විස්තරයට.

      "තව දාහක්" වටිනවා කියන්නෙ ඇත්තට වෙච්ච සිද්දියක්. සුද්දගෙ කාලෙ ගමක හිටපු සල්ලිකාර, ඒත් නූගත් මුදලාලි කෙනෙක් ගියාලු කාර් එකක් ගන්න, එයාගෙ "ලියන මහත්තයත්" එක්ක. මුදලාලි සරම පිටපොට ගහගෙන ජනේලෙන් කාර් එක ඇතුලට රිංගන්න හදනකොට, සුද්දා පිටට තට්ටුවක් දාලා, දොර ඇරලා දුන්නලු. මුදලාලි කිව්වලු "ලියන මහත්තයා, අම්මපා තව දාහක් වටිනවා ඕයි" කියලා.

      Delete
    2. අර මුදලාලිගෙ කතාවෙ ඉතුරු ටික ඒ තරම්ම හිනා යන්නෑ. ඒත් ඔන්නොහෙ මං දාන්නං...

      ඉතිං මුදලාලි කාර් එක අරං, ගෙදර ගෙනාව. ලියන්න තමයි එළවං ආවෙ. ඒ එලවං එද්දි මුදලාලි ඉස්සරහ සීට් එකේ ඉඳං ලියන්නගෙන් අහගෙන ඉගෙන ගත්තා කාර් එක එළවන හැටි.

      ඔන්න, ලියන්නා අර දබරෙ දාලා කරකවලා ඉස්ටාට් කරලා, දබරෙ ගලෝගෙන ඉස්සරහ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා දොර වැහුවා. මුදලාලිත් අනික් සීට් එකේ ඉඳගෙන දොර වහගත්තා. ලියන්නා ක්ලච් එක පාගලා ගියර් පොල්ල එකට දැම්මා.

      "ඒ මොකද්ද කළේ?" මුදලාලි ඇහුවා.

      "මම ගියර් එක දැම්මා." ලියන්නා කිව්වා. "දැං ටික ටික ක්ලච් එක බුරුල් කරනව මෙන්න මෙහෙම..." කියලා ලියන්නා මුදලාලිට පෙන්නා දෙමින් කාර් එක ඉස්සරහට ගත්තා. "දැන් ටිකක් ගෑස් දෙනව" කියල අනික් පයිං ඇක්සලරේටරේ පෑගුවා. මුදලාලි ඔක්කොම හොඳට බලාගෙන හිටියෙ. ටිකක් දුරක් ඇවිත් ලියන්නා ගියර් එක දෙකට දැම්මා.

      "ඒ මොකද කළේ?" මුදලාලි ආයෙ ඇහුවා.

      "ගියර්එක මාරු කරන්න ඕනෙනෙ මුදලාලි ඉස්සරහට යන්න..." ලියන්නට මල පැනගෙන එන්නෙ.

      මුදලාලිට නහුතෙට කේන්තියි...

      "ඇයි ඕයි, තමුසෙ මේක හොඳට බලල නෙවෙයිද ගත්තෙ? මට තමුසෙ කිව්වනෙ මේකෙ කිසි අඩුවක් නෑ කියල..."

      "ඔව් ඉතිං. මේක අලුත් වාහනේනෙ. මුදලාලි මොන මගුලක්ද කියන්නෙ?"

      "ඇයි ඕයි හොඳ වාහනේනං, ගරාජ් එකෙං එලියට ගත්ත විතරයි මොන මගුලටද ඕකෙ එක එක කෑලි මාරු කරන්න ඕනෙයි කියන්නෙ?"

      ------------

      පස්සෙ පස්සෙ මුදලාලි මේ වාහනේ තනියම එලවන්න ඉගන ගත්තා. හැමදාම හවසට කඩේ ඉඳං ගෙදරට එලවගෙන යන්න ගියාම මේක හොඳට පුරුදු වෙයි කියල මුදලාලි හිතුවා.

      ඔහොම දවසක් හවස් අතේ මුදලාලි මේ කාර් එක එලෝගෙන පාරෙ දකුණු පැත්තෙ අයිනෙං විනීත විදිහට යනව දැකපු, බයිසිකලේක නැගලා සිතාසියක් දෙන්න ආපු පොලිස් රාළහාමි කෙනෙක් කාර් එක නැවැත්තුවා.

      "ඔහොමද වාහනේ එලවන්නෙ?" රාළහාමි ඇහුවා.

      "ඇයි රාලහාමි? මම දකුණු පැත්තෙ අයිනෙනං නෙ ගියෙ" මුදලාලිත් ගරු සරු ඇතුව ඇහුවා.

      "දකුණු පැත්තෙං යන්නෙ පයින් යනකොට. වාහන යන්නෙ වම් පැත්තෙං. කෝ ගන්නව ලයිසන්..."

      "ලයිසන් නෑනෙ රාලහාමි. මම තාම මේක පුරුදු වෙනව"

      "ආ කෝ එහෙනං ඇල්බෝඩ්?"

      "ඇයි රාළහාමි මම නෙ. රාළහාමිට අඳුරන්ඩ බැයිද? මම තමා ඇල්බෝට් මුදලාලි..."

      උපුටා ගැනීමකි

      Delete
    3. කවුද බොලේ බුද්ධිමය දේපළ මංකොල්ල කන්නෙ මහ දවල්?

      Delete
    4. ඇයි බොලේ අර දාලා තියෙන්නෙ ලින්ක් එක. ඉතුරු කතාව නරකම නෑ.

      මේක මේ මෑත අතීතයෙ වෙච්ච ඇත්ත කතාවක්, අපේ ගම් පලාතට කිට්ටුව.
      මහත්තයා කාර් එක එලවනවා, නෝන ඉස්සරහ සීට් එකේ යනවා. යන ගමන් නෝනා මෙහෙම කියනවා, "මහත්තයා හරකෙක්, මහත්තයා බල්ලෙක්, මහත්තයා පූසෙක්". මහත්තයා නැවැත්තුව කාරෙක, හෙන ගහන්න වගෙ පාරෙම. බැස්සා ගියා වටෙන්" බැහැපිය , බැහලා තෝ එලවපිය"

      Delete
    5. බෑ මේක කොරන්ඩ!

      ඕං දවසක් හබියා උදෙම්ම නැගිටලා ගියා කුස්සියට. යනකොට වයිෆ් බිත්තර බදින්ඩ ලෑස්තිය. ඉතිං හබියා පිටිපස්සෙ ඉඳං උපදෙස් දෙන්ඩ ගත්ත.

      “තාච්චිය හො දට හෝදන්ඩ...

      ආ දැං හොඳට ඇල කරලා වතුර ටික බේරෙන්ඩ අරින්ඩ...

      බලාගෙන, ඇඟට වැටෙයි වතුර...

      හා දැං ඇති. දැං ලිපේ තියලා, පත්තු කරන්ඩ. ඉතුරු වතුර ටික වාෂ්ප වෙන්ඩ ඕනෙ...

      ආ දැං ඇති. ඉක්මණට ලිප නිවන්ඩ... ඉක්මණට ඉක්මණට!! ඔය! තව පොඩ්ඩෙං තාච්චිය කර වෙනව.

      හා දැං දාගන්ඩ තෙල්... පොඩ්ඩයි දාන්නෙ පොඩ්ඩයි... ඔය! ඔයා තෙල් මහ ගොඩක් දාගෙන...

      හා දැං ලිප පත්තු කරලා දැල්ල අඩු කරන්ඩ... තෙල් ටික පිච්චෙයි තව අඩු කරන්ඩ...“

      ඔහොම කියාගෙන යනකොට වයිෆ් ඔරවලා බැලුවා.

      “මොකද මනුස්සයො? කවදාවත් නැතුව මට උයන හැටි කියන්ඩ එන්නෙ? තමුසෙ හිතුවද මට බිත්තරයක් බැද ගන්ඩ බෑ කියල?“

      “නෑ නෑ සෝස මල... මට ඕනෙ උනේ මං වාහනේ එලවද්දි දැනෙන ෆීලිං එක ඔයාටත් දෙන්ඩ...“

      Delete
    6. ඔන්න දවසක් නයිස් ලේඩි කෙනෙන් කාර් එකක් එලවගෙන යනව වංගු පාරක. යද්දි, මහ වංගුවක් ගාවදි, ඉස්සරහිං ආව කාර් එහෙක මනුස්සයෙක් ඔලුව එළියට දාලා මහ හයියෙන් කිව්වා,

      “COW!“ කියල.

      ලේඩිට මළ පැන්නා. එයත් ඔලුව එළියට දාලා,

      "PIG!" කිව්වා. කියලා ඔලුව ඇතුලට දාගත්තා විතරයි, වංගුවෙ එහා පැත්තෙ පාර අයිනෙ ලැගගෙන හිටපු තඩි වැස්සියෙක්ගෙ ඇඟේ හැප්පුනා...



      කොහොමද ඒක? අර ඩුප්ලිකේටයගෙ කතා වගේ ද මෙව්වා...?

      Delete
    7. බොරු කියන්නෙ මොකටෑ, දෙකම පට්ටයි බොලේ🤣

      මානසික රෝහලකට ලෙඩෙක් බලන්න ගිය කාන්තාවක් දිහා, එහෙ හිටිය නේවාසික රෝගීන් දෙන්නෙක් කන්න වගේ බලාගෙන හිටලා, මොනවද කුටු, කුටු ගාලා කියවන්න ගත්තලු. හොඳටම බය වෙච්ච ගෑණි පස්ස බල,බල හයියෙන්, හයියෙන් ඇවිදින්න ගත්තම අර දෙන්නත් පස්සෙන් එන්න ගත්තලු. ඒ සැරේ ගෑනි කෑ ගහගෙන දුවන්න ගත්තාම, රෝගියෙ දෙන්නා ඊටත් හයියෙන් කෑ ගහගෙන පස්සෙන් එලවනවලු. ගෑණිට සිහි නැතිවෙලා වැටුනාම , අර දෙන්නා පිඹගෙන ඇවිත්, "එකයි, දෙකයි, තුනයි" කියලා ඇඟට තට්ටුවක් දාලා ආපහු දිව්වලු.

      Delete
    8. ලංකාවෙ ආණ්ඩු පෙරළියත් ඔන්න ඔය වගේ තමයි. දිනපු උං හිටපු උංගෙ දූෂණ හොයනව, පස්සෙ උං පැරදිලා අනික් උං දිනලා, උං මුංගෙ දූෂණ හොයනව.

      Delete
    9. මේකත් කාලෙකට ඉස්සර අපේ ගම් පලාතෙ වෙච්ච දෙයක්. බස් නැවතුම් පලකදි, විරුද්ධ පක්ෂ වල ගමේම දෙන්නෙක් දේශපාලන වාදයක් ගියා. එකෙක් පැරදී ගෙන එනකොට, කේන්තිය වාවන්නෙ නැතුව, පැන්න ගමන් කාලා අනිකගෙ ඇඟිල්ලක්.

      බොහෝ කාලෙකට ඉස්සර, මාසෙකට වතාවක්, පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කොට, දියවන්නාවෙ, මට රාජකාරි වැටිච්ච කාලයක් තිබ්බා. එලියෙදි, මරාගන්නව වගේ පෙන්නුවට, පක්සෙ මක වුනත්, උන් ඔක්කොම යාලුවො.

      දේශපාලන කියන්නෙ පට්ට ගේමක්, ඇඳගෙන ඉන්නෙ හුදී ජනතාව.

      Delete
    10. ඔව්ව ගැන මගෙ හරිම අදහස දැං ඉතිං ලියන්ඩ වෙන්නෙ පෙන්ෂන් ගත්තට පස්සෙ තමා...

      එතකං තව කතාවක් කියන්නං.

      දවසක් මැතිවරණ කාර්යාලෙකට ඇවිත් කොල්ලෙක් ඇහුවලු:

      “චණ්ඩි ඉන්නවද?“ කියල.

      “ඔව්. ඉන්නව. ඇයි?“ කියල හතර පපස් දෙනෙක් පැනල අරූට අම්බානට නෙළල

      පස්සෙ ඌ වැඳ වැඳ කියනවලු. “අනේ අයියෙ ගහන්ඩෙපා. මං ආවෙ මේ ගෙදර උන්න ‘චන්දි‘ බලන්ඩ“ කියල...

      Delete
    11. ඔයි සිරිමගේ කාලේ තිබ්බ වීපීපී භාවිත වුනේම ස්කෑම් වලට, අපේ පොඩි මාමා කාරයා පත්තරේ දාලා තිබ්බ පොකැට් රේඩ්යෝ එකක් ගෙන්නුවා, බැටරි අනවශ්‍යයයි කියලත් තිබුනානේ, ඒකාලේ බැටරි වලින් සතියක් යන කොට ජූස් බහිනවා. ඉතින් අමාරුවෙන් එකතුකරගත්තු ගෙඩි සුපියල් පහලොවකුයි තවත් ගාස්තුයි ගෙවලා තැපැල් කන්තෝරුවෙන් ගෙනා පුංචි පාර්සලේ කැඩුවේ අපි පොඩිවුන් වැඩිහිටියෝ හත අටක්ම වටකරාන, ඒක ඇතුලේ තිබ්බා ඒකාලේ තිබ්බ සුරුට්ටු පෙට්ටියක් කපලා හදපු සුරුට්ටු පෙට්ටියකින් කාලක් විතර සයිස් අඩු ගනනේ පාට ටිකක් වත් උලපු නැති පෙට්ටියක්, වයර් කැලි 3ක් එළියට දාලා තිබුනා, උපදෙස් පත්‍රිකාවේ ලියලා තිබුනා හීනි වයර් කැලි දෙකට ඉයර්ෆෝන් එකක් අමුනාගන්න, මහත එකට අඩි 75 උස කම්බියක් අමුනන්න කියා ඇන්ටෙනාවක් විදිහට කියා. ඉයර්ෆෝන් එකක් හොයගන්න බැරිව සති ගනනාවක්ම බොහොම හිතේ අමාරුවෙන් හිටි පොඩි මාමා දවසක් ඒ පෙට්ටිය කැඩුවා, ඒකේ ඇතුලේ තිබුනා ඩයොඩ් එකයි, කන්ඩෙන්සරෙයි, කොයිල් පොටවල් ටිකකුයි අමුනලා හදපු වල්ඩ් සිම්පල්ස්ට් ක්‍රිස්ටල් රේඩියෝවක්, කාලේ හැටියට රුපියලක් විතර වටිනා උපකරන.

      වාජීකරණ, කොන්ඩේ කලු කරන, කාන්තාවන්ගේ මාස තුනත් වුනත් පහු වෙච්ච එව්වා විසඳන ඖෂධ, හැරගිය ස්වාමියා වහා ගෙන්නාදෙන, සිත්ගත් කාන්තාව දෙපතුලට ගෙන්වන වසී ගුරුකම්, වගේ දේවල් තමයි වීපීපී වලින් එවනවා කියා පත්තරේ නිතිපතා දාපු දැන්වීම්.

      Delete
    12. හපෝයි, ඒකෙනුත් වැඩ අරගෙන තියෙන්නෙ කපටි ටික නෙව? ඔය කියන ජාතියෙ රේඩියෝවක් ගැන විස්තරයක් මතකයි. සුසර කරන්න බැරි නිසා, ඔක්කොම චැනල් ඇහෙන්නෙ එකට. වැඩි බලයක් තියෙන චැනල් එකේ සද්දෙ, අනිත් ඒවා යටපත් කරගෙන ඇහෙනව කියල තමයි තිබුනෙ. නීත්‍යනුකූලව, උන් හරි( got their ass covered), ඒත් බැට රි/ඇම්ප්ලිෆිකේෂන් නැති නිසා අන්තිම අකාර්‍යක්ෂමයි.

      අදෝමැයි! මාගේ VPP සොඳුරු ප්‍රිතිරූපය බොඳවීය.

      Delete
    13. මෙන්න වැම්පයර් ගැන්සියට තව හොස්පිටිතාල කතාවක්:

      මානසික රෝහලක, රෝගීන්ට ව්‍යායාමෙටත් එක්ක ශ්‍රමදානයක් තිබ්බලු. එතන හිටිය ගාඩ් කෙනෙක් දැක්කලු එක රෝගියෙක් විල් බැරෝවක් කණපිට හරෝගෙන එහාට මෙහාට යනවා. පොර කතා කලාලු බුවාට, "ඒයි පිස්සා මෙහෙ වරෙන්, ඇයි ඕක කණපිට හරෝගෙන යන්නෙ?" , එතකොට රෝගියා කිව්වලු මෙහෙම "හහ්, උඹ හිතුවෙ මට පිස්සු කියල නේද? මේක හරි පිට හරෝගෙන ගියොත්, අරුං මේකට පස් පුරෝනව නෙ?"

      සමහර වෙලාවට හිතෙනව, ඇත්තම පිස්සො ඉන්නෙ ඇතුලෙද, එලියෙද කියලත්.

      Delete
    14. ඩුප්ලිකෙට් ඩ්‍රැකියාගේ පුතන්ඩියාගේ පන්තියේ ටිචර් කිව්වාලු ලමයින්ට ඇටසැකිල්ල ගැන රචනාවක් ලියාගෙන එන්ඩ කියලා මුලින්ම ඩ්‍රැකි පැට්ටාට කිව්වා තමන් ලිව්ව රචනාව පන්තියටම ඇහෙන්න කියවන්න කියා. "මේක අපේ පරම්පරාවෙන් එන දෙයක් කියලා අම්මා කිවා. මේක සීයාටත් තිබනාලු. අපේ තාත්තාටත් තියෙනවා. ලගදි ඉදන් අපේ අයියාටත් තියෙනවා. අම්මා කිව්වා මම තාම පොඩි හින්දයි නැත්තේ ලොකු වෙනකොට එවි කියලා.. අම්මයි අක්කයි ගෑනූ හින්දා මේක නැ."
      ටිචර් මාර ගැටලුවක් මේ ඩ්‍රැකි පැට්ටාගේ රචනාව ගැන. ටිචර් පොඩිඑකාගේ කණ මිරිකලා ඇහුවා
      " ඈ බොල මේ මොකක් ගැනද කියන්නේ" පොඩි එකා අඩ අඩ කිව්වා "ඇයි ටිචර් බොඩ් එකේ දැම්ම එක ගැනයි ලිව්වේ"
      ටිචර් බෝඩ් එක දිහා බැලුවා. ටිචර් ඔලුවේ අතගහගත්තා බෝඩ් එකේ ලියලා තියෙන්නේ ඇටකැසිල්ල කියලා..

      Delete
    15. හුටා! දැන් නං මට ඔරිජිනල්/ඩුප්ලිකේට් කව්ද කියල හිතාගන්න බෑ🤣

      කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් හැමදාම හවස වැඩ ඇරිලා, පිදුරු පුරෝපු විල් බැරෝවක් අරගෙන එනවා. ගේට්ටුවෙ ගාඩ්, පිදුරු අවුස්සල බලල, විල් බැරෝවෙ යටත් බලනවා, ඒත් මුකුත්ම නෑ.

      කාලෙකට පස්සෙ, දෙන්නම විශ්‍රාම ගත්තාම, දවසක් මුණ ගැහෙනවා. ගාඩ් මෙහෙම කියනවා" අනේ, දැන්වත් මට ඇත්ත කියහං. මං දන්නවා උඹ මොනවා හරි හොරකං කලා කියලා. කියහං, දැන් අපි දෙන්නම පැන්සොන් නෙව, මං කාටවත් කියන්නෙ නෑ. උඹ මොනවද හොරකං කලේ?"

      කම්කරුවා: "විල් බැරෝ"

      ස්

      Delete
    16. ඒවව ක්ලැසික් තමා. ඒ උනාට මේකත් බලලම කියන්ඩකො...

      Delete
    17. ඒක නං හොඳයි. ඒ කට්ටිය සෑහෙන්න ජනප්‍රිය පාටයි. තව කීපයක්ම තියනවා. හිමීට බලන්න ඕනෙ.

      Delete
    18. another one... https://www.youtube.com/watch?v=Sn3uQMmhB_8

      Delete
    19. මේක තමා හොඳම. පොඩි කොටස් නිසා විවිධත්වයකුත් තියනවා

      Delete
    20. ඔය "ලෝචි" අම්මත් තාත්තත් නැතුව නංගිත් එක්ක මාර ගේමක් දීලා දියුණු වෙච්ච කෙල්ලෙක්. මං දැකපු හොඳම ඒක තමයි මේක. පතෝල...

      Delete
    21. අඩේ ඒක නං පට්ට! ලෙසටම තියනවා. අලුත් පරම්පරාවෙන්, මේ කොලිටිය දැකීමත් සතුටක්.

      Delete
    22. හෙහ්, හෙහ් ඒකත් නරකම නෑ.

      Delete
  9. මදිය නොකියන්නම ලේ පිරිසුදු කරගනන ඇහැක් වුණා, හිමිදිරියේම.

    VPP කියනකොට අපේ තාත්තා කියපු ඒ කාලේ සිදුවීමක් මතක් වුණා.
    'මකුණන් සහමුලින්ම විනාශ කිරීමට අත්දුටු ප්‍රතිකාරයක්. කිසිම වස-විසක් අඩංගු නැත. රුපියල් දෙකක මනි ඕඩරයක් එවන්න. VPP මඟීන් එවනු නොලැබේ.' කියලා පත්තරේක දැන්වීම් තීරුවේ තිබුණාලු.
    ඒ කාලේ හැම ගෙදරකටම තිබුණු ප්‍රශ්නයක් ඒ. මකුණෝ!
    ගොඩ දෙනෙක් සල්ලි යවලා.

    තැපැල් මඟීන් ප්‍රතිකාරය එවලා තියෙන්නේ ලියුම් කවරයකමයි. ඒකෙ ඇතුළේ උලක් හිටින්න කපාපු ඉරටු කෑලි දෙකකුයි, පුංචි දැන්වීමකුයි තිබිලා, "මේ උලකින් මකුණාගේ පිටටම ඇන මරා දමන්න.' කියාපු.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියට විභාගෙ, ඒත් ඉන්න බෑ, සැරින් සැරේ එනව තියෙන කඩි කුලප්පුවට. රියලා පෝයට සිල් අරං වෙන්ටෑ? එත් වම්හ ඇදගෙන ගියා නියමෙට. ඒකා කතා පැක්ටේරියක්. මට නිකමට හිතෙනව මුං තුන් දෙනාගෙ ලේ නෑකමක් තියෙනව කියලා.😂

      Delete
    2. 'මට නිකමට හිතෙනව මුං තුන් දෙනාගෙ ලේ නෑකමක් තියෙනව කියලා': Isn't that a no-brainer.

      Delete
    3. අර උඩින් ඇණයා කියල තියෙන, "VPP වැඩිවශයෙන් භාවිතා වුනේ ස්කෑම් වලට" කියන කතාව හරියටම හරි වගේ. ඔය නිදි කිව්ව වංචාවම මෙහෙමත් වෙලා තියෙන කතාවක්, මම කොහේදි හරි දැක්කා. ඇඩ් එක ටිකක් ඒ වගේමයි: "මකුණන් මරන යන්තරේ" කියලයි දාලා තියෙන්නෙ. එවන්නෙ, එක පැත්තකින් මූට්ටු කරපු ලී කෑලි දෙකක්. මකුණා මේ මැදට තබා තලා දමන්න කියලා.

      බොරුව, වංචාව අපිට පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් බවයි මට හිතෙන්නෙ.

      Delete
    4. //Isn't that a no-brainer//

      On the contrary to the popular belief, owls are not that smart. No pun intended😊.

      Delete
    5. අපි නොදන්න ලයිව් එකේ තිබුණා ඔය වගේ මකුණො මරණ මැෂින් එකක්. ටෙලිසීන් ඇඩ් එකක් විදිහට... ඔබේ බටේ හොයල බැලුවට හම්බුණේ නෑ.

      Delete
    6. මමත් ඔහොම එකක් මතකයි.

      Delete
  10. මේ වගේ හිනා යන කතා එක්ක ලස්සන කමෙන්ට්ස් දාන්න අපිට බැහැනෙ ඉතින්. කියවලා, enjoy කරලා යන එක තමයි හොඳම option එක. නිදී කිව්වා වගේ ලේ පිරිසිදු කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙහෙම කමෙන්ට් කලාම හොඳටම ඇති.😊

      Delete
  11. ලොකු සර්, අර කොමෙන්ට් ලියන රුමේනියන් පාස්පෝට් කල්ලියව ෆලෝ කරන්න ක්‍රමයක් නැද්ද?
    පස්ටම fun ටීම් එකක්නේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. රුමේනියන් කස්ටිය කැමති නෑ, එයාලව ෆ්ලෝ කරනවට. එයාල තමා රෑට අපිව ෆලෝ කරන්න එන්නෙ.
      ෆන් ටීම් එකක්ම තමා, ඩ්‍රැකියා නිවාඩු ගියාම "වම්හ" තමා වැඩ බැලුවෙ. අපරාදෙ කියන්න බෑ, ලෙසටම ගේම දුන්නා.😊

      Delete
    2. ඉස්සර කාලේ මිනිස්සු බොරුවට මුංට බයවෙලා සුදුලූනු අරව මෙව්වා තියාගෙන ඉඳල තියෙන්නේ. හොඳ බයිට් එහෙකුයි පැණිබීම බෝතල් දෙක තුනකුයි ගෙනත් තිබ්බනං වට පිටේ එවුන්ව බයකරවන්ඩ තිබ්බ හිනාවෙලාම. 'වම්හ'යයි රියලයිත් PPN.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. බෝතල් පොලිෂ් කරාන්ට අකමැති වෙන එකක් නෑ, මයෙ හිතේ. "නැත්ද, ලේ ටිකක් දියං?" කියාගෙන තමා නිකං ඩ්‍රැකියා නං එන්නෙ.

      Delete
    4. නැත්ද, ලේ ටිකක් දියං?

      Delete
    5. මේ කොරෝනා කාලෙ ලේ බොන්න එපා බොලං

      Delete
  12. ඔ්ං 100 වෙනි කමෙන්ට් එක දැම්ම. මේං ගියා...

    ReplyDelete
    Replies
    1. ජයවේවා!( විභාග සහ අනෙක් සියලුම දේ)

      Delete
  13. තව එකක් ලියන්ඩ කාලයයි

    ReplyDelete
    Replies
    1. හෑ, ආවා නේද ආයෙ, ඈ බොලං, පාඩම් කරන්නෙ නැතැයි?

      තව කල් තියනවා. මතක් කලාට ස්තූතියි.

      Delete
    2. දැං පටං ගන්නව එක්සෑම් එක ලියන්ඩ. ඉවර වෙනකොට මහ රෑ. මොකවත් ලියහං ඇවිත් බලන්ඩ...

      Delete
    3. ඕකේ, ඔන් ලයින් වෙන්ටෑ? ඕල් ද බෙස්ට්.

      Delete
  14. ආ මේ තියෙන්නෙ 100 පන්නපු තව එකක්..ජය වේවා...

    ReplyDelete
    Replies
    1. එසේම වේව! මෙව්වා අර වැම්පයර් ගැන්සියේ වැඩ.😊

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code