May 11, 2021

ටොලාගෙ ලැපා, නේවාසික හැකර් සහ මකන කෑලි තාක්ෂණය

ටොලා ගැන මම කලින් ලියල තියනවා "ගිම්හානයේ ආ අමුත්තා" පොස්ට් එකේ. ටොලා අමුතු චරිතයක්, ඒත් නියම "ජොලි ගුඩ්" හාදයා. "හැපී ගෝ ලකී" දර්ශණයට අනුකූලව ජීවත් වෙච්ච ටොලාගෙන්, මමත් යමක් ඉගෙන ගත්තෙ නෑ කියල කියන්නත් බෑ. ඒත් අද කියන්න යන්නෙ ටොලා ගැන නෙවෙයි, ටොලාගෙ ලැපා ගැන.

ඒ ටොලා ගූගල් "සොයා" ගත්ත  අලුත. අපට පරණ නිවුස් වුනත්, ටොලා ගූගල් ගැන කොච්චර පැහැදුනාද කියනව නං, මෙන්න මෙහෙමත් කිව්වා: " දැන් මං කියනවට, නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගහල බලන්න, ගූගල් පටස් ගාලා, විස්තරත් කියල අත් බේතුත් දෙන්නෙ නැත්ද කියල." ටොලාගෙ ගූගල් පිස්සුවට උදව්කලේ ලැප්ටොප් එකක්. එච්චරම පරණ එකක් නූනත්, ඔය ලැපේ කී-බෝඩ් එකේ අවුලක් ආව.

ලැප ඔන් කරලා කී-බෝඩ් එකට අත තිබ්බ ගමන් දිගටම "uuuuuuuuuuuuuuu" කියල වදිනවා. ඔන්න ඊලඟට පේනවා, ටොලා හතර අතේ කී ඔබ-ඔබ, ලැපට තට්ටුව දමමින් "මන්කි-බිස්නස්"කරනව. වැඩේ කියන්නෙ, ඊට පස්සෙ ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා, ආයෙ ලැප ඔන් කරන තෙක්. 

ටොලා මට ලැප බලන්න කියල, කවදාවත් කිව්වෙ නෑ. සමහරවිට මා ගැන විස්වාසයක් නැති වෙන්න ඇති, බාගදා ඒකෙත් වැරැද්දක් නෑ නෙව? හැබැයි, එයාට ඒකටත් "තියරියක්" තිබ්බා. " මේ බිල්ඩිමේ ඉන්නව හැකර් කෙනෙක්. මම ලැප් එක ඔන් කරන වෙලාව, හරියටම බලල, එයා දෙනව බැස්ටිය. ඔන්න ඔහෙමයි ටොලා කිව්වෙ. ඔන්න ඒකට හොට දැම්මෙ අපේ නේවාසික හෝතම්බුවා: " බිල්ඩිමේ මොකෑ, මේ ගෙදරමයි ඉන්නෙ හැකර්". රට්ටු අහිංසක මට කයි-කතන්දර පටබැන්දෙ, අද ඊයෙ නොවන බව දැන් තේරෙනව නේද?

අනුන්ගෙ ලැප්ටොප් ගලවන එක, "කඩෙන් කාලා අනුන්ගෙ හරක් බලන" ජාතියෙ වැඩක්. කරල නැත්තෙත් නෑ, හැබැයි ඇනගෙන පාඩම් ඉගෙන ගෙන තියනවා. එක වංගියක්, ඕවර් හීට් වෙලා නිකම්ම රී-ස්ටාර්ට් වෙන ලැපක, බයෝස් අප්ඩේට් කරන කොට, හුටස් ගාලා මෝල  ඕෆ් උනා. එතකොට "මේ අටංපහුර" තිබ්බෙත් නෑ.

ලැප්ටොප් සහ serviceability එකට යන වචන දෙකක් නෙමෙයි. එකට යන වචනෙ තමා "පහසුව." මම ටොලාගෙ ලැපා ගැන "ගොනා සහ තනකොල" තියරියෙන් හිටියෙ ඇයි කියල තේරෙනවා ඇතැයි හිතනවා.


මේ තියෙන්නෙ මම කැමතිම කී-බෝඩ් එක, මේක කොටන්නෙත් ඒකෙන්ම තමා. දැන් එකක් සීයට ගියාට, මං කොටල ගත්තෙ ඩීල් එකකින්. එකක් තිහයි, තැපෑලට විස්සයි කිව්වාම, මම දෙකක් ගත්තා තැපැල් නැතුව. දැන් අවුරුදු දෙකක් විතර ඇති, තාම යස අගේට බර අදිනවා. රී-චාර්ජබල්, බැක් ලයිට්, ට්‍රැක් පෑඩ් ඔක්කොම තියනවා. සිම්පල් බස්සො මේ වගෙ බරසාර කී-බෝඩ් පාවිච්චි කරන්නෙ නෑ.

මේ ලඟදි ඉඳන් "C" අකුර වදිනව හොරයි. මේක සරල "මැම්බ්‍රේන්" කී-බෝඩ් එකක්. ගැලෙව්වා, ගත්තා මකන කෑල්ලක්. ඉලුවා "ප්‍රින්ටඩ් සුවිච්" තට්ටු දෙකේම, පරිස්සමට, එච්චරයි. කිව්වට විස්වාස කොරාන්ට ආයිබෝවංඩ, ඉත්තෑ අමාරුවට නෙමෙයි, ගැලෙව්වෙ නොකර බැරි කොමට. බොරුනං බලාන්ට, බොරු කකුලකුත් දාලයි, දුවන්නෙ. මගේ Logitech K830ය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!






45 comments:

  1. නියම පෝස්ට් එකක් කියෙව්වා කියහංකො. ඒකෙ ඉන්න දේව දූතයාට, අර අල්ලපු දූතයා දාන "රබර් ඇහැ" තමා මට නං නැගලම ගියේ.🤣

    ReplyDelete

  2. අලුත් වෙන්ට වෙනවා නෙව හැමට පෙර
    තේරුං ගන්ට වෙනවා මේ හුටප්පර
    මළකඩ කාල වාගෙයි මගෙ මොළේ බර
    අම්මෝ! දැනුම ගිහින් තියෙන තරම් දුර

    ReplyDelete
    Replies
    1. මැම්බ්‍රේන් කී බෝඩ් සරලම වර්ගය
      ලාබෙට අකුරුත් කොටන මාර්ගය
      හොඳට දුවනවා, නොදැක සුවර්ගය
      දුටුවෙමි බස්සෙක්, කවි කිඹුහුන් ගිය

      Delete
  3. නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගූගල් කරලා බැලුවා.. 2014 අප්‍රේල් පළවෙනිදා බස්සම ලියපු කඩචෝරු කතාවක් උඩින්ම පෙන්නුවේ.. අම්මප බස්සාටත් තියෙන්නේ එසේ මෙසේ පස්සා පැත්තේ අමාරුවක් නෙවෙයි වගේ.. :)))

    ReplyDelete
    Replies
    1. ඇටිකෙහෙල් කාලා "පස්සා පැත්තේ අමාරුව" හදා ගත්ත උගුඩුවො මෙච්චර ඉන්න එකේ, ඇයි අපටම මෙහෙම වෙන්නේ? ඇත්ත, මම උගුඩුවොන්ගෙ සායම ඇරිය නං තමා.😒 ඔය උගුඩුවො මාත් එක්ක තරහට කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිත් නෑ.
      Karma is a bitch🤔

      දුක නැති කිරීමේ මාර්ගය

      ඒත් ටොලා කිව්වෙ බොරු නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. එයාට ඉංගිරිසි වතුර වගේ, බාගදා කියන්න ඇත්තෙ ඉංගිරිසියෙන් "පස්සා පැත්තේ අමාරුව" කියල ගහල බලන්න වෙන්ටෑ?

      Delete
  4. //ඔන් කරලා කී-බෝඩ් එකට අත තිබ්බ ගමන් දිගටම "++++++++++++++++++++++" කියල වදිනවා.//

    ReplyDelete
    Replies
    1. ටක්කෙටම, අල්ලපු ගෙදර "හැකර්" කෙනෙක් ඇති.🤔

      Delete
    2. https://www.secureworldexpo.com/industry-news/hooker-hacker-sex-database-hack

      Delete
  5. // අනුන්ගෙ ලැප්ටොප් ගලවන එක, "කඩෙන් කාලා අනුන්ගෙ හරක් බලන" ජාතියෙ වැඩක්. කරල නැත්තෙත් නෑ, හැබැයි ඇනගෙන පාඩම් ඉගෙන ගෙන තියනවා. //

    දශක දෙකක අත්දැකීම් ඇත. දැන්නං කෙලින්ම "දන්නෙ නෑ - කරන්ට බෑ" වාගෙ දේ කෙලින්ම කියන්න හැකියාව හදාගෙන ඇත. :-D

    ReplyDelete
    Replies
    1. ආඳා "සොෆ්ට් ස්කිල්" එක වැඩි දියුණු කරගන්න කලින්, මාත් ඔය නිසා සෑහෙන කට්ටක් කෑවා. දැන් නං, එකටත් එක්ක ලිස්සනව ලිස්සිල්ලක්, උන්දල ප්‍රශ්ණෙ අහල ඉවර කරන්නත් කලියෙන්.😂

      Delete
    2. අහන එවුනුත් ලිස්සල වැටෙනව in the wake of ලෝර්ඩ් බැස්ටියන්

      Delete
    3. සමාවෙන්ට ඕනෙ, ඔබතුමාත් වැටුන නං🤣 හිතල කරන දෙයක් නෙමෙයි, සමහර වෙලාවට නොදැනිම ලිස්සෙනවා. මයෙ හිතේ, පුරුද්දට කියලයි.

      Delete
    4. ඔව්වා ඔහොම ප්‍රසිද්ධියේ කියාපාන්ට එපා අප්පේ. වැඩ නොදන්නා අපිටත් තව උදවියගෙන් වැඩ කරවා ගන්න වෙනවා.

      Delete
    5. නෑ, නිදි මේක ඇටිටියුඩ් එක පිලිබඳ ප්‍රශ්ණයක්. දෙන කොට දෙන්නෙ "ආ, මේ වෑර් එකක් බුරුල් වෙලා ඇති" කියලයි, බැලුවාම, කී-බෝඩ් එක කෝපි බීලා. ඔහොම සත්ගුණවත්, අතුරු-මිතුරු දඹදිව තුරු "පිල්ලෙක්" හිටියා, උන්දැට මගේ මේ නොන්ජල් කොම, කොච්චර නැගල ගියාද කියනව නං, එයැයිගෙ සනුහරේම එව්වා ගෙන්න තියා ගත්තා. මං කිව්වාම "මම බිසී" කියලා, මූ අහපි මොනවද මට ඔච්චර තියෙන වැඩ කියලා.🤣

      මං දන්නවා නිදි එහෙම අසාධාරණ නෑ කියල, ඒකයි කතා කරපු ගමන් "උදවිය" පිඹගෙන එන්නෙ.

      Delete
    6. බස්සා දැන් පිල්ලොන්ගෙ ඒ්වා හදන එක නවත්තලා ලු. පිල්ලියොන්ගෙ කීබෝර්ඩ් විතර ලු හදන්නෙ.

      Delete
    7. කිරි ටොයියො වගේ පිල්ලියො දෙන්නෙක් තමා ආවෙ. ඒත් , අපි නං අහුවෙයි ඕවට, හුහ්!

      Delete
    8. සොරි, ඒක "ආයෙ" අහුවෙයි කියල නිවැරදි වෙන්න ඕනෙ😂

      Delete
    9. නිකමට වත් Enter key/ Insert key එහෙම ඔබලා බලාන්ට ගියෙ නෑ?

      Delete
    10. අපෝයි නෑ, එබුව වගේ නෙමෙයි ...... ඇතුල්වීම පමණයි නොමිලේ🤔

      Delete
    11. ඉන්සර්ට් කී අවුලක් නෑ, ෙසාලුෂන් ඒක පිටෙවන්න කලින් ඒස්ෙක්ප් කී ඒක භාවිත කරනවනං...

      Delete
    12. හෙහ්, හෙහ් එස්කේප් කී ක්‍රමවේදෙ ගැන කිව්වෙ අත්දැකීමෙන්ම වෙන්ටෑ?

      පිල්ලියොත් එක්ක ඉන්සර්ට් කී සෙල්ලම කරල එහෙම ලේසියෙන් ලිස්සල යන්න බැරි බවයි, දන්නෝ කියන්නෙ. දැඩි ඥාති සම්බන්ධතා තියෙන පිල්ලියොත් එක්ක පැටලුවොත්, පස්සෙ පිලිපීනෙ පොඩි ගම්මානයක් නඩත්තු කරන්න වෙන බව, දන්නෝ කියනව. කොලේජ් එකේදි හිටි මගේ "කල්ලියෙ" පිල්ලියෙකුත් හිටියා. කෝල් එකක් දුන්නත්, උන්දෑ නං, මොකක් හරි විකුණගන්න මයි බැලුවෙ. යාළුවොත් එක්ක "බිස්නස්" නොකරපු මට, ඒක අමුතුයි කියල හිතුනා.මම සුටුස් ගාලා ලිස්සුව බව ආයෙ කියන්න ඕනෙ නෑනෙ?

      අනෙක් "ජාති-ආලෙ" කල්ලි වලින් කොන් කරපු, මගේ චීන මිත්‍රයා පැවත ආවෙ රණකාමී , කඩු වගේ ආවුද හදාපු පරපුරකින්. චීනෙ "සගිස්කුරුත විප්ලවය" ඒ ඔක්කොම විනාසකරපු හැටි ඔහු මට කිව්වා. මම හාරා ඇවිස්සුවෙ නෑ, ඔහු කැමැත්තෙන් කියපු ටික විතරයි මම දන්නෙ. මාව චීන මාකට් වලට එක්ක ගිහින්, රසට චීන කෑම හදන්න ඕන බඩු ගන්න හැටිත් කියල දුන්නා.

      එක එක අයගෙ තිබුනෙ,වෙනස්ම ජීවන රටාවක්, වැරදියි කියනව නෙමෙයි, අපට වඩා වෙනස්. ඇත්තයි, බේතුයි දෙකම තිත්තයි කියල පැරා තමයි කිව්වෙ. ඒ නිසා මම තීරණය කලා, ලිස්සන බස්සෙක් විදිහටම ඉන්න.

      Delete
  6. අර මියුසික් එකේ නිකං අමුතුම, සැක්සන් ගොතික් ගතියක් තියෙනව නේ? නිකං සීතල දේශගුණයක් එක්ක පරණ මධ්‍යතන හිරිවක්? මං ආසම එකක් තමා. ආඩමගෙ ඉතිහාසය ලියද්දි අහන්න ගත්තෙ ඕක....

    ReplyDelete
    Replies
    1. “හිරිවක්“ වෙනුවට “හුරුවක්“ ද, “ආඩමගෙ“ වෙනුවට “ඇඩමගෙ“ ද යොදා ඉහත කමෙන්ටුව නැවත කියවන්න...

      Delete
    2. හරියට හරි, මටත් ආවෙ එහෙම හැඟීමක්. ජර්මන් කාරයෙක් කිව්වා, ඒ පැරණි ජර්මන්ලු, උන්දැටත් තේරෙනව හොරයිලු. උඹැහෙ බිසි දවස් වල ලියපු පෝස්ට් එකක අගට දාපු මේකත් අහල බලපං.

      Walpurgis Night (මායාකාරීන්ගේ රාත්‍රිය -"වල්-පූගස්නාහ්ෆ්")

      Delete
    3. සැක්සන් ද? සෙල්ටික් ද?

      සූර පප්පා රෝමන්කාරයින්ට නෙලන කාලෙ ජර්මනිය දිහාවෙ හිටියෙ විසිගොත්/ ඔස්ට්‍රොගොත් ලා නේ ද හැබැයි.

      Delete
    4. මගේ ඒ දැණුම අඩුයි ටක්කෙටම කියන්න. Paganism -pre Christianity කියල විතරයි දන්නෙ. අර අඃ තට්ටුව දා ගෙන ඉන්නෙ "හර්න්" ද හන්ටර් නේද?

      Delete
    5. බුරා ඇන්ඩ් බකුස්,
      අර පරණ උපාසකම්මලට වගේ තමයි. පරණ යුරෝප් බඩු නං මට ගොත් ද, සෙල්ටික් ද, සැක්සන් ද කියල වෙනසක් දැනෙන තරමට ලොකු දැනුමක් නෑ. ඒත් රසවිිඳින්න පුළුවං තරමට ඉන්ටෙරස්ටඩ්.

      හර්න් ද හන්ටර් ගැනත් කියවන්න ලැබුණා වරක්... ඒ් අවතාරයක් කියල තමයි අැති වුණු හැඟීම...

      Delete
    6. වල්පුර්ගිෂ් නාක්ට් ගැන ඩ්‍රැක්‍යුලා ෙපාෙතන් අහක් කරපු ෙකාටසක තිබුණා. ෙගස්ට් ඔෆ් ඩ්‍රැක්‍යුලා කතාවෙ.

      Delete
    7. වෘක මිනිස්සු, ෙතාප්පිවල අං හයිකරගැනීම් අාදිය, පරණ යු ෙරා්පීය මිනිස්සු ස්වභාව ධර්මය ඒක්ක ඒ්කාබද්ධ ෙවන්න හදාගත්ත සංකල්ප ෙවන්න පුළූවන්. සමහර විට ඒ ලක්ෂණ යක්ෂයාට ඒකත් කරල අැත්ෙත් යුෙරා්පීය අැදහිලි යටපත් කරන්න ෙවන්න අැති?

      Delete
    8. හර්න් ද හන්ටර් ගැන වාසිතයෙ මිතිල ලියල තිබුනා. අවතාරයක් කියනවට වඩා පිහිට වෙන ආත්මයක් කියන එක තමා නිවැරදි.

      ඩැකියුලා පොත් ගැන ඩ්‍රැකියට වඩා වෙන කව්ද දන්නෙ? Paganism ඉන්න යක්ෂයා, ක්‍රිස්තියානියෙ ඉන්න සාතන්ට වෙනස් කියල තමා මිතිල කියන්නෙ. මට තේරෙන්නෙත් එහෙම තමා.

      Delete
  7. ඔය මකන කෑලි සාත්තුව මං කරනව, ඩෙස්ක්ටොප් එක සර්විස් කරද්දි. රැම් එක ගළවල, ඒකෙ පාත්වල බැඳිල තියෙන ඔක්සයිඩ් ටික මකන කෑල්ලකින් මකනව.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. ඔක්සයිඩ්, කාබන් යවන්න ඊට වඩා හොඳ එකක් නෑ. කිසිම ප්‍රතික්‍රියාවක් නෑ, තුනී ගෝල්ඩ් ලේයර් එක හීරෙන්නෙත් නෑ. එකම දේ අර කිරි පාට සුමුදු මකනෙ තමා ගන්න ඕනෙ. තව තියනවා තීන්ත මකන රළු මකනෙකුත්, ඒක එච්චර හොඳ වෙන එකක් නෑ

      Delete
    2. ඔය අර 286/ 386 මැසින් ගලෝන කාලෙ ඉගෙනගත්තු හොඳ පුරුදු නේ ද?

      Delete
    3. ආන්න හරි - සිය රට දේ සිරි සැප දේ 😁

      Delete
    4. බුරා,
      ආාාන්න හරි. මගෙ තිබුණ 486 මැෂින් එකක්. ස්පීඩ් එක 32 මෙගාහර්ට්ස්, රැම් එක එම්බී 12. හාඩ් එක එම් බී 100.

      බකුස්,
      කිරි සුදු පාට මකනෙ තමයි. අපේ තාත්ත විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ ස්ටෝ කීපර් කාලෙ අපි ළඟ තිබුණා පැත්තක් සුදු, පැත්තක් නිල්පාට රළු මකනෙකුත්, මැකුවහම පොත කලු වෙනව. ඒකෙන් රැම් මැකුවනං, පාත් ගළෝල යයි...

      Delete
    5. ආන්න හරි. ඒ කිරි සුදු මකනෙ තමා ගන්න ඕනෙ.

      Delete
  8. මම ඔය ලැප්ටොප් දෙකක් විතර ගලවල තියනවා ස්ක්‍රීන් රීප්ලේස් කරනන් එපමණයි. හැබැයි මෙකනිකල් කීබෝඩ් කටහ්ව නැගල යනවා. වයර්ලස් කීබෝඩ් ඇර ඔය පැත්ත ගැන උනන්දුවක් තිබ්බෙම නැහැ. ස්තුතියි ටිප් එකට

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකත් එක්තරා "හොබි" එකක්. වියදමට සරිලන වින්දනයක් නොලැබෙන නිසා, මට නං අල්ලල ගියේම නෑ. දැනට කරන හොබි එක මට හොඳා. අනිත් අයට, ඒක එහෙම නොවෙන්නත් ඇහැකියි.

      Delete
  9. කී බෝඩ් කිව්වම මතක් වුනේ, මගේ ළඟ තියෙන කී බෝඩ් එකේ බ්ලුටුත් රිසීවර් එක හදිස්සියේ ලැප බිමට වැටිලා කැඩුන. ඒ කියන්නේ පිටත ප්ලාස්ටික් එක කැඩිලා ඇතුලේ සර්කිට් එක පොඩ්ඩක් ලූස් වෙච්ච වගේ ගතියක් තියෙන්නේ. උපදෙසක් දෙන්න බැරිද ? ඒ වගේ කෑලි අලුත් වැඩියා කරන්න පුළුවන් ද ?

    මේ ජාතියේ එකක්
    https://www.microsoft.com/en-us/p/microsoft-sculpt-ergonomic-desktop/8xk02kz6k69w?activetab=pivot:techspecstab

    නැත්නම් රිසීවර් එක විතරක් ගන්ඩ තියෙනවද ? මම හොයල බැලුවට හම්බ වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දන්න විදිහට නං, අමාරු වැඩක්. බොහෝ විට ඔක්කොම ඇත්තේ එකම බෝඩ් එකේ. බොහෝ විට SMD components වෙන්න ඇති. මහන්සියෙ හැටියට ප්‍රයෝජනයක් නැති වෙන්න ඇහැකි.

      ඉත්තෑ අමාරුව තියෙනව නං, විතරක් කියන්නම්, හැබැයි රිස්කි.

      බෝඩ් එක ගලවලා, රෙදි මදින අයන් එකක් උඩ තියලා සෝල්ඩර් රී-ෆ්ලෝ කරන ක්‍රමයක් තියනවා. ප්‍රතිඵල ගැනවත්, හාමිනේගෙ කොසුපාරවල් වලින් වෙන හානියටත් වග කියනු නොලැබේ.

      Delete
  10. මම කරන්න ගියොත් අනිවා බෝඩ් එකත් උණු වෙලා අලුත් අයන් එකක් ගන්නත් වෙනවා... මේ කී බෝඩ් එක හාමිනේගේ තමා. තාම දන්නේ නැහැ මගේ අතින් කැඩුන කියල හෙහ් හෙහ් .. සේප් එකේ හදන්න බැලුවේ .. ඕව කරන්න ගියොත් වැඩේ මාට්ටු...

    මම දැක්ක මවුසා විතරක් ගන්න තියෙනවා. එහෙම උනොත් මවුසෙක් ගන්නවා. අලුත් මවුසෙක් ගත්තොත් පරණ කීබෝඩ් එක කනෙක්ට් කරන්න පුළුවන් ද ඒ රිසීවර් එකට ?

    ReplyDelete
    Replies
    1. //කී බෝඩ් එකේ බ්ලුටුත් රිසීවර් එක හදිස්සියේ ලැප බිමට වැටිලා කැඩුන//

      මම හිතෙන්නෙ, මම වැරදියට තේරුම් ගත්තෙ කියලයි. කැඩුනෙ බ්ලූටූත් ඩොන්ගල් එක නේද? එව්වා ඕන තැනකින් ගන්න ඇහැකි. ජෙනරික් V4 එකක් ගන්න. එතකොට ඇයි අලුත් මවුසෙක් ඕනෙ?

      https://www.amazon.ca/Bluetooth-Network-Adapters/b?ie=UTF8&node=3312819011

      ඔක්කොම අලුත් ලැප් වල, බිල්ට්-ඉන් බ්ලූටූත් තියෙනවා. එතකොට වෙනම බ්ලූටූත් රිසීවර් එකක් USB එකට ගහන්න ඕනෙත් නෑ. එහෙම බිල්ට්-ඉන් බ්ලූටූත් නැත්නම් , ඕනෙම ජෙනරික් USBරිසීවර් එකක් හරියනවා. Microsoft දීපු එකම ඕනෙ නෑ, බ්ලූටූත් Microsoft ප්‍රොපටි නෙමෙයි. එක බ්ලූටූත් රිසීවර් එකකට, ඩිවයිස් කීපයක් සම්බන්ධ කලෑකි.

      බ්ලූටූත් වර්ශන් 5 ගණන්, ඒක අවශය වෙන්නෙ , හයි-කොලිටි ඕඩියෝ වලට විතරයි. V4 හොඳටම ඇති, කී-බෝඩ්/මවුස් වලට.

      Delete
  11. ඔව් බ්ලුටුත් ඩොන්ගල් එක තමා. එහෙනම් එල. මම එකක් අරන් බලන්නම් .. තැන්කු !

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code