Oct 3, 2025

සුඛෝපභෝගී දුප්පත්කම හෙවත් සැපසේ දුක් විඳීම

බස්සා කුඩා කල සිතාගෙන හිටියේ ඌ මධ්‍යම පාංතිකයෙක් කියාය. කාමර හතරේ මහ ගෙදරත් ටැක්නිකල් ඔෆිසර/ පාසැල් ගුරුවරී මා-පිය දෙපලත්  නිසා එසේ සිතුනා විය හැක. ක්‍රමයෙන් කරදඞු උස්වන විට යතාර්ථය ඊට වඩා වෙනස් බව ඉඳුරාම පැහැදිලි විය. කන් පාත් වෙන්නම ඩේලි ගැසූ බකුසු පියතුමා, Cheshire පූෂෙකු  මෙන් සතුටින් සිටි අතර, පවුලේ සම්පූර්ණ බරට කරගැසූ මගේ අසරණ මව, ජීවන සටන ගෙන යෑමට රෝල ගැසූ සේක

අම්මා ගෙන යන සටන තේරුන නිසාදෝ, බස්සා දෙන දෙයක් කා උන්නා මිස, කිසිම දෙයක් ඉල්ලු බව මතක නැත. සෑහෙන ධනවත් නෑඳෑ ගෙදරකින් ලැබුනු සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් ඇන්ද බව නං මතකය. අප බඩු ගත්තේ කඩේ "පොත" ටය. දිනෙන් දින ධනවත් වූ කඩේ මුදලාලි( අපේ ගමේ විත්ති), පොතේ ගණන් "එඩිට්" කරන බවට ගමේ කට-කතාවක් විය. ලැබෙන පඩියෙන් ණය බේරූ පසු, නැවත අලුත් වන ණය, කිසිදා ගැලවීමක් නැති විශම චක්‍රයක් විය.

ඇත්තම කිව්වොත්, මේ කිසිවක් ගැන පැමිණිලි කිරීමට තරම්  දෙයක් මට නැත.  කරටිය කැඩෙන්න ගැසුවත්, පවුලේ ආර්ථිකයට දායක නූනත් "සල්ලි නැත්තම් වතුර බීල හිටහං, අනුන් ගෙන් ඉල්ලන්න එපා" යැයි කී පීතෘ වාක්‍යය අදටත් මතකය. එසේම චමුදිත නොදන්නවාට, ආසියාවේ පලමු "ෆ්ලඩ්-ලිට්" ස්ටේඩිම් එක නොසෑදුවාට, මගේ පියතුමා මට සදාකාලික සැර බීම අජීර්ණයක් දායාද කලේය. 
අලුත්ම ෆෝන් එක, අලුත්ම ටෙස්ලා එක, ඩිසයිනර් ඇඳුම් අතේ නැති මුදලට ගෙන, පොලියත් සමඟ වාරික ගෙවනා බටහිර සමාජයට මගේ ජීවන රටාව එතරම් දිරෙව්වේ නැත. සමහරු මට ඒ බව මූණටම කියා තිබේ. බාගදා ඒ නොකියා කිව්වේ "තෝත් අපි වගේ ණය උගුලට අහුවෙය" කියලා වෙන්නත් ඇත. එවිට Cheshire පූෂා මෙන් විරිත්තීම මගේ පුරුද්දකි.

මගේ කාර් කට්ට ගනිද්දී, මා අත්පිට මුදල් දෙන බව කී විට සේල්ස් රෙපා එයට එතරම් සතුටු වූයේ නැත. රෙපා මාන බැලුවේ ණයක් මගේ කරේ ගැසීමටය. මට කඩේ මුදලාලිව මතක් විය. ස්ටුඩන්ට් ලෝන් දෙවරක්ම ගත් මා, පලමු වාරිකයේ පොලිය දුටු විට "අම්මට හික්කඩු"යැයි කියවුන බව මතක ඇත. මුළු ණය මුදලම එකවර ගෙවීම නිසා බරපතල ටැක්ස් රිටර්න් එකක් ලැබුන බවත් මතකය.

මා "ඩීල්" සොයමින් ෆ්ලයර් බලනා විට, "අපි නං ගන්න ඕන දේ කීයට හරි ගන්නවා" යැයි පාරම් බෑ අයම, අද ජීවන වියදම අහස උසට ගිය විට "ඩීල්" සොයනා විට මම කුරිරු සතුටක් විඳිමි.😁

පසුගිය දශක කිහිපය තුළ, නිවාසවල මිල වසරින් වසර ඉහළ යෑම නිසා නිවාස අර්බුදයක් ඇති වී ඇත. එය වරක් මධ්‍යම පාන්තික සන්ධිස්ථානයක් වූ අතර, හොඳ රැකියාවක් කළ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟා කර ගත හැකි වූවක් - දැන් සමාජයේ ධනවත්ම පුද්ගලයන් හැර අන් සියල්ලන්ටම පහසුවෙන් ළඟා කර ගත නොහැකි බලාපොරොතුවක් බවට පත්ව ඇත.මේ වන විට, වරක් ධනවතුන්ගේ සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකූ බොහෝ මිලදී ගැනීම් තවදුරටත් එසේ නොවන බව පැවසීම සාධාරණ යැයි මම සිතමි. 

මිනිසුන් බංකොලොත් වී සිටියත් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම දැන් සාමාන්‍ය දෙයකි. කුඩා, අබලන් මහල් නිවාසයක ජීවත් වුවද විශාල රූපවාහිනියක් සහ නවතම ක්‍රීඩා කොන්සෝලයක් තිබීම සාමාන්‍ය දෙයකි. යමෙකු මාසික වැටුපෙන් ජීවත් වෙමින් හෝ ණය වී සිටියත් මිල අධික නිර්මාණකරුවන්ගේ ඇඳුම් වලින් හිස සිට පාදය දක්වා සැරසී සිටීම සාමාන්‍ය දෙයකි.

මොකද වෙන්නේ?

මෙම මිල අධික මිලදී ගැනීම් නිසා මිනිසුන් බංකොලොත් වී බවට චෝදනා කිරීම ඉතා පහසු වුවද, එය ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින දේ පිළිබඳව  අවතක්සේරුවට ලක් කිරීමක් පමණි.

පසුගිය දශක කිහිපය තුළ, අපි මේ ආකාරයේ ආර්ථික පෙරළියක් (economic inversion) අත්විඳ ඇත්තෙමු. නිවාස, මෝටර් රථ සහ අධ්‍යාපනය වැනි අවශ්‍යතා මධ්‍යම පාන්තික ජනතාවට සාපේක්ෂව දැරිය හැකි මිලකට තිබූ අතර, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් සුළු ගැජට් වැනි සුඛෝපභෝගී භාණ්ඩ වඩා මිල අධික වූ අතර බොහෝ විට මිලදී ගත නොහැකි විය. නමුත් අද එය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇත. නිවාස, වාහන, අධ්‍යාපනය සහ වැනි අවශ්‍යතා අතිශයින් මිල අධික වන අතර ඒවා ලබා ගැනීමට බොහෝ දෙනෙකුට බරපතල ලෙස ණය වීමට සිදු වේ.

මේ අතර, තාක්‍ෂණික නිෂ්පාදන, ගෘහ අලංකරණ භාණ්ඩ වැනි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වෙන කවරදාටත් වඩා දැරිය හැකි මිලකට තිබේ. බොහෝ අවස්ථාවලදී, මේ වියදම් සඳහා වැය වන්නේ මාසික කුලියකට වඩා අඩු මුදලකි. එම වෙනස සුඛෝපභෝගී දුප්පත්කම (luxury poverty) ලෙස සමහරු හඳුන්වන දෙයට මග පාදා ඇත. එය අධ්‍යාපනය, නිවාස හිමිකම සහ වෘත්තීය වර්ධනය වැනි දේ හා සම්බන්ධ මූල්‍ය ස්ථාවරත්වයක් නොමැති වුවද, ඔබට තවමත් නවතම iPhone, Xbox හෝ air fryer සඳහා ප්‍රවේශය ඇති ජීවන රටාවකි.

විකල්ප:

පුද්ගලික මට්ටමින් ආර්ථිකය පාලනය කළ නොහැකි වුවද, අපට ඇති අවස්ථා උපයෝගී කරගැනීම පාලනය කළ හැකිය:
  • ආක්‍රමණශීලීව මුදල් ඉතිරි කරන්න. ලැබෙන පඩියට අනුකූල ජීවන රටාවක් තෝරා ගන්න. හැකියාව තිබියදී වාහනයක් නොගෙන, දණක් හිමේ එරි-එරී වැඩට යාම මෙයින් අදහස් නොකෙරේ. ඒත් ඒ සඳහා අලුත්ම මොඩලයේ  මිළ අධික වාහනයක් අත්‍යාවශ්‍යම නැත. සල්ලි කන්නද යැයි ඇසුවාට සල්ලි නොමැතිව කවුරුවත් කන්න දෙන්නේ නැත. නූතන සමාජයේ හැම දෙයකටම මිලක් ඇත. කටුක යතාර්ථය එයයි.
  • අධ්‍යාපන මාර්ගය ප්‍රඥාවන්තව තෝරා ගන්න: විශාල ණයකට යාමට පෙර රැකියා අපේක්ෂාවන් සහ වැටුප් ඇස්තමේන්තු පිළිබඳව පර්යේෂණ කරන්න. ප්‍රජා විද්‍යාල හෝ වෘත්තීය පාසල් වැනි අඩු වියදම් මාර්ග සලකා බලන්න.( මෙතන්දි නං මටත් වැරදුනා, ඒත් පාඩු වුනේ නෑ)
  • ලාභයට වඩා මිනිසුන්ට සහයෝගය දක්වන දේශපාලඥයින්ට ඡන්දය දෙන්න. අපේ සාවියේ මුළු වෙළඳ අධිකාරියම ඇත්තේ පවුල් 4ක් අතරය. කවුරු බලයට ආවත් එය වෙනස් වූයේ නැත. Aldi , Lidl වැනි යූරෝපීය තරඟකාරීත්වය ඔවුන් ඉඩ දෙන්නේ නැත. 

Outro:

මගේ ණය නැති ජීවන රටාව ඔබට ගැලපේදැයි මා දන්නේ නැත. Reddit කමෙන්ට් කරුවෙක්  "මොබයිලයේ ඩේටා නැත්නම්, ඔබගේ ජීවිතය නාස්තියකි" යැයි වරක් කීවා මතකය. තට්ටයා මහතාට අනුව, ෆෝ වීල්ස් නැත්නම් එය වාහනයක් නොවේ. මගේ ජීවන රටාව නිසා, මට අත්විඳීමට නොහැකි වන දේ බොහෝ බව දනිමි. ඒත් එය මාගේ තෝරා ගැනීම නිසා, මට ඒ ගැන පසු තැවීමක් නැත.

frugal living ප්‍රමෝට් කලාට, මම පොතේ හැටියම එය අනුගමනය කරන්නේත් නැත. ඔබට දැරිය හැකි නං සහ ඔබට සතුටක් ගෙන දේ නං, අත්‍යාවශ්‍ය නූනත් ඒ දේ සඳහා වියදම් කිරීමේ වරදක් මා දකින්නේ නැත.





මූලාශ්‍ර : The Rise of Luxury Poverty

පිදුම: නිරන්තරයෙන් ඇවිත් අලුත් පෝස්ට් තිබේදැයි සොයනා සියලුම පාඨකයින්ට

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

58 comments:

  1. https://aliceinwonderland.fandom.com/wiki/The_Owl
    https://aliceinwonderland.fandom.com/wiki/The_Cheshire_Cat

    ReplyDelete
    Replies
    1. Cheshire Cat ගැන ලින්ක් එකටත්, හැරෙන තැපෑලෙන් මුල්ම කමෙන්ට් එක එවීමත් ගැන මගේ හර්දයාංගම ගෞරවය. අර සඤ්ඤක "හර්" හොයා ගන්න බැරි වුනා.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Herr

      Delete
  2. මෙයා අඩු කුලේ කියලා මුළු අඹතලේ හන්දියම දන්නවා

    ReplyDelete
    Replies
    1. අඹතලේ හිටියා කුලේ කියල හාදයෙක්. එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න.😋

      Delete
  3. බස්සා - කියන්න තරම් අග හිඟයක් නැති ළමා සහ තරුණ කාලයක් උරුම වුණු කෙනෙක් වුණත් කවදාවත් ෂෝ එක වෙනුවෙන් දේවල් මිලදී ගන්න හිතුණු නැති කෙනෙක් මම. අදටත් මම මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන තරමේ මොබයිල්/වාහන වගේ දේවල් වලින් සෑහෙන, අලුත්ම එකට අප්ඩේට කිරීම විශාල වදයක් හැටියට සලකන කෙනෙක්. මගේ වාසනාවට ඒ විදිහටම හිතන කෙනෙක් ජීවන සහකාරයා හැටියට ලැබිලා තියෙනවා. ඒ නිසා ජීවිතය සරලයි. මානසික පීඩාවන්ගෙන් තොරයි. හැබැයි අපේ මිතුරු කව වල සමහරුන්ගේ බඩට නොකා ලෝක ප්‍රකාසය වෙනුවෙන් නැති සල්ලි වෙන් කරන ජීවන රටාව දැක්කම සමහර වෙලාවට ත්‍රාසයක් උපදිනවා. එක එක්කෙනාගේ ජීවිත තමයි ඉතින් නේද?
    හැබැයි මම දැකලා තියෙන දෙයක් තමයි මේ බටහිර ආර්ථික තියෙන රවල ණය උගුලට අහුවෙන්න හරි ලේසියි. දෙන කොට අපිට හරි ආදරෙන් ණය දෙන්නේ. හැබැයි ගෙවාගන්න බැරි වුණු දාට කවුරුවත් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔය ණය උගුල නං ඉතිං අපට අලුත් දෙයක් නෙමෙයිනෙ නේද? අවු 76ක්ම රටම කෑවෙ ණයටම නෙව?

      ණය නැති ජීවන රටාව නිසා මානසික පීඩාවන් අඩුයි. ආන්න ඒකයි අවයවය.👌
      ඒත් මම "ලිවින් ෆෝ ද ඩේ" අයගෙ ජීවන රටාව ගැන දොසක් කියන්නෙත් නෑ. ඒක ඒ අයගෙ තෝරා ගැනීම. ඔවුන් අපට වඩා ජීවීතේ එන්ජෝයි කරනවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. https://frozenlazyowl.blogspot.com/2023/12/blog-post_15.html?showComment=1702721292150#c5520138815729009594

      Delete
  4. කතාවනං ඇත්ත තමයි.
    ගෙයක් තිබ්බට අපේ ගෙදරත් තාම ටීවීයෙකක් නෑ. මොනිටරෙන් ටීවී බලන්නෙ.

    //ලාභයට වඩා මිනිසුන්ට සහයෝගය දක්වන දේශපාලඥයින්ට// මේ කියන්නෙ වෙන ග්‍රහලෝකෙක සීන්ස් එකක් ගැනද?

    ReplyDelete
    Replies
    1. දැන්, දැන් වෙන සීන් බැලුවාම සැබෑ සහෝදරවරු වෙන ග්‍රහලෝකෙකට ගිහිල්ලදෝ කියලත් හිතෙනවා.😋

      Delete
  5. economic inversion ගැන කිව්වාම මට මතක් වෙන්නෙම එදා ගමේ සුලභව තිබ්බ ගොටුකොළ. මෙහෙ ගොටුකොළ තියනවා, ඒත් අස්ප ගණන්. එදා ගමේ සුලභ කෑම කොළ, කරවල මෙහෙ සුඛෝපභෝගී කෑම, ගමේ සුඛෝපභෝගී කෑම, හැම්, බේකන් මෙහෙ සාමාන්‍ය කෑම.

    මම හොයා ගත්ත හොඳම විකල්පය තමයි ඉටැලියන් පාර්ස්ලි. ගොටුකොළ වගේම සම්බෝලෙ හදන්න ඇහැකි. පට්ට රහයි.

    උඹලකඩ, වියලි මිදි-රේසින්, තක්කලි, ලූනු , තායි මිරිස්, ගාපු පොල් දාලා දෙහි බෑවක් මිරිකලා ගන්නවා. ඔලිව් ඔයිල් ටිකක් එහෙමත් දාලා කලවං කරලා චීස් කෑලි ටිකකුත් දාලා ගත්තාම දිව්‍යලෝක රහයි.

    ඔය හෝර්ටන් තැන්නෙ වැවෙනවා වැල් ගොටුකොළ ජාතියක් කැලේට. නාරටිය රතුයි. ගිණි නිවාරණ සතියකට, අල බංගලාවෙ නැවතුන වෙලාවෙ, කෝකි අප්පු හදලා දුන්නා. එහෙ පොල්තෙල් ගෙන්නෙ ෂොපින් බෑග් වල, රාත්තල් ගාණට.

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ මඤ්ඤොක්කා වැංජනයක් එක බත් කන ගමන් අපේ චූටි නංගි කිව්වා "එංගලන්තේදී මං කොස් ගෙඩියකින් බාගයක් ගත්තේ පවුම් 250කට කියලා.
      ඉටලියන් පාර්ස්ලි ගැන එයාටත් කියන්නොනි.

      Delete
    2. ඔව් නිදි සමහරු කේල් වලිනුත් ඔය සම්බෝලෙ හදනවා. ඒත් කේල් ටිකක් දිය රහයි. පාර්ස්ලි වල ඊට වඩා "කොළ" රහ තියනවා.

      නිදි ලෑ, අජිත් ලෑ කමෙන්ට් නැති පෝස්ට් නිකං පරිප්පු නැති හෝටලයක් ගාණයි. මට හිතුනා පාටියට යන්න ඇති කියලා. පාටිය ගැන ලියන කොට සීතගල පැත්තෙ පරිසරය ගැනත් ලියන්න. එතකොට අපටත් ඒ පරිසරය හිතේ මවා ගන්න ඇහැකි.

      අද නං බෝනස් එකක් විදිහට හැලපෙත් ඇවිල්ලා.😁

      Delete
    3. ඔහේ පලයන් . තැන්කියු . කොමෙන්ට් චෙක් කරන බ්ලොග් පොලිස් එකෙන් ඇවිල්ලද කියල බැලුවේ . නැහැනේ . පාර්ස්ලි සම්බෝලේ මමත් කනවා .

      Delete
    4. බ්ලොග් පොලිස් එකෙන් ආවා, ඇවිත් මලීට අනවශ්‍ය කතාවක් කිව්වම මම මැකුව. ඔය ලියන ගමන් රස ජර්මන් රෙසිපි එකක්, දෙකක් කමෙන්ට් විදිහට හරි ලියලා දාන්න අප්පා.

      ඉස්සර මාරයාගේ හෝරාව එකේ එහෙම රෙසිපි දුන්නා. පස්සෙ මාරයා ස්කොට්ලන්තෙට චුත වෙනකොට බ්ලොග් එක වැහැව්වා. අදටත් මගෙ බ්ලොග් රෝලෙ මාරයගෙ අන්තිම පෝස්ට් එක "
      නිවිති එක්ක දෙල් කිරට... ". බුරාගෙ අනුග්‍රහයෙන් ලැබුන මාරයගෙ රෙසිපි සෙට් එකක් මෙන්න බාගන්න:

      https://drive.google.com/file/d/1FLNTRTvInY6KWXFEoX_fcZjEe1cAfKPv/view?usp=sharing

      Delete
  6. ඔහෙ ..................මමත් එහෙමනෙ මධ්‍යම පාන්තිකයෙක් කියල ඔය හිතාගෙන උන්නෙ. හැබැයි ණය වෙලා නම් නැහැ, ඇත්තටම කියනවනම් අඩුත් වැඩිත් නැතුව පාඩුවේ දිවි ගෙවනවා.
    මේ link එක නම්මේකට අදාල නැහැ. මේ street art වගයක්
    https://youtu.be/1P47i09QC-Q

    ReplyDelete
    Replies
    1. අඩේ අර street art වීඩියෝ එක නියමයි නෙව? සමහර චිත්‍ර පණ පිහිටෙව්වා වගේ තියනවා. නියමෙට රස වින්ඳා. ස්තූතියි.👌

      ඔහෙට කියන්න, එක වංගියක්, ටොලා (ගිම්හානයේ ආ අමුත්තා) එයැයිගෙ රියල් එස්ටේට් යාළුවෙක් එක්ක ගෙන ආව මට ගෙයක් විකුණන්න. අර "අපේ සිරි ලාංකේය" අහවල් එක තියෙනවානෙ මූණටම බෑ කියන්න බැරි? පස්සෙ දිගටම මේ මනුස්සය පස්සෙන් පන්නන්න ගත්තා. මමත් එක-එක ඒව කිය-කිය ලිස්සුව. පස්සෙ මට බැනලා මේලක් එව්වා " හිතන්න එපා මම එච්චර ඩෙස්පරේට් කියලා. මට ඕන වුනේ ඔහෙට උදව්වක් කරලා, මගේ නීතියාණුකූල කොමිස් එක ගන්නයි".

      Delete
  7. මගේ ළමාවිය ගෙවුනේ පාන්ගෙඩිය ගන්න පෝලිමේ ඉන්නට සිදුවූ, අළුත් බයිසිකල් ටයරය ගන්නට පරණ එක අරන් යන්නට සිදුඋන කාලයක ය. ඒ කාලයේ ඉස්සර ඇපල් කියලා ජාතියක් තිබුනා යයි තාත්තලා කියනු කොතෙකුත් අසා ඇත. දැන්නම් ඕනෑ තරම් ජාති කන්න තිබේ. හැබැයි හෘද රෝග තරුණ වෙලා යයි වෛද්‍යවරුන් කියනු ද අසන්නට ලැබේ.

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ. හෘද රෝග තරුණ වීමට හේතුව බාගදා මෙතන ඇති:

      Seed monopoly - Monsanto

      Delete
  8. "ඔබට දැරිය හැකි නං සහ ඔබට සතුටක් ගෙන දේ නං, අත්‍යාවශ්‍ය නූනත් ඒ දේ සඳහා වියදම් කිරීමේ වරදක් මා දකින්නේ නැත". ඔව් ඒක තමයි හොඳම විදිහ 😍.

    මම කමෙන්ට්ස් දාන්න ආවෙ හුඟ දවසකින්. ඒ අස්සෙ මම නිමල්ගෙ පොස්ට් එකේ Cheshire Cat ගැන කිව්වා විතරයි බස්සටත් ඌම මතක් වෙලා 😁

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් හරි ආපු එකම දාහක් වටිනවා. "තව දාහක් වටිනවා" කතාව දන්නවා ඇතැයි සිතමි.

      පාපොච්චාරණය: Cheshire Cat නම හොරා කෑවේ, එතනිං තමයි, අපෙ හාංදුන්නේ. 🙏😁
      කොහෙද, මෙහෙ එයි කියලා කව්ද හිතුවෙ.🤔 මේ පෝස්ට් එකත් ඔය පහල තියෙන මූලාශ්‍ර ආශ්‍රයෙන් ලියපු එකක්. මුල් කොටස විතරයි මගේම අත්දැකීම්.

      Delete
    2. ඒක හොරා කෑමක් නෙවෙයිනෙ. වෙනත් යෙදුමක් ගැන හොයා බැලීමක්නෙ. පාපොච්චාරණයක් මක්කටෙයි. (හොරා කෑවත් ඉතින් අපේ හොරානෙ හාංදුරුවනේ 😉).

      ඔව් මම දැක්කා මූලාශ්‍ර. Cool bananas.

      Delete
    3. බොහොම ස්තූතියි. රෝදය නැවත හොයාගන්නේ මොකටද? මාත් ඉතිං පූෂව රී-සයිකල් කලා.😁

      Delete
  9. ඊයේ රෑ අපේ මානෙල් නංගිලාගේ ගෙදරදී කෙරුණා දිගම දිග මතක සජ්ජායනයක්. ඒකෙදි වැඩියෙන් කියවුනේ 'ලොකා ඒ කාලේ පොඩි එවුන්ව ආණ්ඩු මට්ටු කරපු හැටි' හා පවුලේ දුප්පත්කම ගැන.
    ඒ අස්සෙ අපේ නංගිල තුන් දෙනාම පුන පුනා කිව්වේ 'ඒ කොහොම වුණත් අපි ඒ කාලේ කොච්චර සන්තෝසෙන් හිටියද' කියලයි.
    මං දන්නා තරමින් අපි හැමෝම බහුභාණ්ඩිකයන් නෙවෙයි. නමුත් ඊළඟ පරම්පරාවේ කට්ටිය නං ඊට වෙනස්!

    ReplyDelete
    Replies
    1. මට හැමදාම හිතුනෙ නිදිට ඔහොම නෑඳෑ, සුමිතුරු සම්පත්තියක් ලබන්නෙ, නිදි මේ ආත්මෙම පවුලෙ බරට කර ගහලා කරපු පිං නිසා කියලයි. ඒක ඔබ උපයාගත් දෙයක්.

      ඒ වගේම අනුන්ට උදව්වක් මිස, බරක් නැති ජීවිතයත්, වැඩි විච්චූරණ නැති ඔබේ සරල, චාම් ජීවිත රටාවෙනුත් මම බොහෝ දේ ඉගෙන ගන්නවා.

      Delete
  10. පක්ෂියගෙ පෝස්ට් එකකට කාලෙකට පස්සෙ කමෙන්ට් කරන්න ලැබීමත් සතුටක්. අනික මෙහෙම ටිකක් දිගට පෝස්ට් ලියන්නෙත් කලාතුරකින් නොවැ.
    මමත් පොඩි කාලෙ හිතං හිටියෙ අපිත් මධ්‍යම පාං‍තිකයො කියලනෙ,පස්සෙ තමයි පීඩිත පංතියෙ කියල දැනගත්තෙ.
    අර අත්‍යාවශ්‍ය නොවුනත් තම සතුට වෙනුවෙන් දේවල් මිලදී ගන්න කතාවට නං ගොඩක් මනාපයි කියන්නෙ මමත් එහෙමයි. පුලුවන්කමක් තියෙනව නම් ඇයි ඒ සතුට නොවිඳින්නෙ?

    ReplyDelete
  11. හෙහ් හෙහ් අර දිග පෝස්ට් කතාව නං පෙරාපු ඇත්ත හැලපේ. හප්පේ බාප්ප දැක්කා වගේ සංතෝසයි. හැලපෙගෙ පෝස්ට් අලුත් එක බ්ලොග් රෝලට ආව, මගේ ඩෙස්ක්ටොප් බ්‍රව්සර් වලින් යන්න බෑ. මොකක් හරි සෙකුරිටි සෙට්න් එකක් නිසා බ්ලොක් කරනවා. මම MacOS, මොබයිල් වලින් ට්‍රයි කරල බලන්නම්.

    අපි පීඩිත පන්තිය නෙවෙන්නං. අදටත් ඒකෙ වෙනසක් වෙලා කියල මට හිතෙන්නෙ නෑ. කොළඹ රෝයල් කොලීජී එලීට් පන්තිය එදත් හිටියා අදත් ඉන්නවා. හැලපෙලා කැට හොලවන්න දායක වෙලා නඩත්තු කරපු පීඩිත පන්ති නායකයොත් බලාගෙන ගියාම ඉහළම ධනවතුන් කියල ඔය කියන්නෙ.

    සක්‍රීය වාමාංසික දේශපාලයේ නොසිටියාට, පොඩි කාලේ කට්ට කෑවට ඒ ගැන අහිතක් මට නෑ. බාගදා, අපට පන්නරය ලැබුනෙ, එයින් වෙන්න ඇති. නිදියා නං "ස්ට්‍රීට් වයිස්" වුනේ පේමන්ට් එකෙන් කියලයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මොබයිල් එකෙන් යන්න දෙන්නෙත් නෑ. මෙහෙම කියනවා:

      https://imgur.com/a/3j6pCZ6

      Delete
    2. බස්සා මම රෝයල් එකට අවුරුදු අටක් ගියා . ඒ කාලේ තමා දැනගත්තේ යකෝ අපි මධ්‍යම පන්තියේ කොච්චර පහළ අඩියකද ඉන්නේ කියල . නැත්නම් කොළඹ ෆ්ලැට් එක්ක ඉන්න නිසා අපේ ගමේ එවුන් හිතුවේ අපි මධ්‍යම පන්තියේ කියල උන් ඇවිත් අතර වෙන්නේ අපේ ගෙදර . අපියි දන්නේ අපේ ලෙවල් එක . මගේ කාර් කතාව කියෙව්වද ? තරිඳුවා ගේ පොත ගැන ලිව්වේ . කවුරු මොනවා කිව්වත් (කිව්වා එවුන් හිටිය ) අතේ තියෙන සල්ලි වලින් තමා හැම වෙලේම කාර් ගත්තේ . නයට ගත්තෙම නැහැ . අන්තිමට ගත්ත කාර් එක බෙන්ස් එකක් . ඒකට නායක ගන්න වුනා . හැබැයි ළමයි පාසල් ගෙනියන්න , ඈත ගමන් යන්න කියපු බඩුව . දැන් අවුරුදු 15. තවම ඒක https://kolambagamaya.blogspot.com/2021/07/blog-post_14.html

      Delete
    3. හැබැයි අයිපෝන් නම් අලුත්ම එක ගන්නවා . මේ පාර අයිපොං 17 ප්‍රෝ එක ඕඩර් කලා. හෙටනිද්දට් එයි . එකෙ කැමරාව මරු . දැන් තියෙන 14 ප්‍රෝ එකත් කැමරාව මාරු . මම ට්ට්‍රැවලින් කරන නිසා . මට නිකොන් එකක් තියනව , භාග ඇස් අන්ධයෙක් නිසා පාවිච්චි කරන්න බැහැ . ෆෝකස් වෙන්නේ නැහැ . ඉතින් අයිපෝන් තමා . අනික පරන ඒවා පවුලේ එවුන් උස්සනවා .

      Delete
    4. රෝයල් සංස්කෘතිය සහ කොළඹ එලීට් සර්කල් එක ගැන මට වඩා හොඳට අජිත් දන්නා නිසා මම ඒ ගැන වැඩි දුර කතා කරන්න යන්නෙ නෑ. ඔය මධ්‍යම පන්ති සංකල්පය වුනත් සාපේක්ෂ දෙයක් කියලයි හිතෙන්නෙ.

      කාර් කතාව කිව්වෙ ඔයිල් පැල්ලම නේද? ඒක කියෙව්වා. ඉස්සර කාර් හැදුවෙ කාලයක් පවතින්න. දැන් මේ පාරිභෝගික සමාජයේ අලුත් ට්‍රෙන්ඩ් එකේ හොඳ නරක දෙකම තියනවා, ඒත් වැඩිය තියෙන්නෙ නරක කියලයි හිතෙන්නෙ

      Delete
    5. හෙහ්, හෙහ් "පරන ඒවා පවුලේ එවුන් උස්සනවා" ඒක නං මරු. ඉතිං හොඳයි නෙව? එතනම ඔටෝමැටික් රී-සයිකලින්, රී-යූස් දෙයක් වෙනවනෙ. අජිත් අලුත්ම අයිපෝන් එක ගන්න එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ. ඔබට එය දැරිය නොහැකි වියදමක් නෙමෙයි. මම "ඔබට සතුටක් ගෙන දේ නං, අත්‍යාවශ්‍ය නූනත් ඒ දේ සඳහා වියදම් කිරීමේ වරදක් මා දකින්නේ නැත" කියල දේ අදාලයි කියල හිතුනා.

      Delete
    6. දුප්පත් පොඩි එකාගේ මොබයිල් එක -�https://www.facebook.com/share/r/17HqKHWoMA/

      Delete
    7. ඒ මොකද්ද ? ජංගල් එක්ස්ප්‍රස් ද? 😋🤣👌

      Delete
    8. මට අර මොබයිල් එක දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිතුන

      Delete
    9. ADHD වගේ වෙන ප්‍රශ්නයක් වෙන්න බැරිද ?

      Delete
    10. ඔව් ඒ වගේ දෙයක් වෙන්නත් ඉඩ තියනවා.

      Delete
  12. අර හැලපේ කමෙන්ට් එකට උත්තර ලියන්න ගිහින් වෙන එකක් ලියවුනේ . හැලපේ ගේ බ්ලොගේ ගිහිල්ල කමෙන්ට් කරන්න බැහැ අර ඇනෝ සෙට් එක බහිනවා . උන්ට උත්තර ලීවොත් කොමෙන්ට් පොලිසියෙන් එනවා . මග හිටියොත් තෝ නහී . ගෙදර ගියොත් අඹු නහි කිව්වලු . 😀 බසු දනන්වද '71 කැරැල්ලේ හිටි ගොඩක් සහෝදරයෝ නායකයෝ (විජේවීර ඇර සල්ලි තිබ්බ එවුන් බව . දැන් ඔය සුනන්ද දේශප්‍රිය හෙම (වඩුගේ ලා) ඒ දවස් වල සල්ලි තියෙන පවුලක් . අනික විදුහල්පති ලගේ ළමයි වගේ මධ්‍යම පන්තික එවුන් හුඟක් හිටිය . වසන්ත සමරසිංහ වගේ උන්ට සල්ලි තිබ්බ කියල ඒ පළාතේ උන් දන්නවා . අපිත් දන්නව . අනිත් අය දැන ගත්තේ මං හිතන්නේ අදයව වියදම් දුන්නහම . ලංකාවේ මිනිස්සු හුඟක් තමන්ගේ ආදායම් හංගගෙන බදු නොගෙවා ඉන්න අය . විශේෂයෙන් ව්‍යාපාරිකයන් . එහෙම වෙලාවක දේශපාලකයෝ වත්කම් හෙළි කරන එක හොඳ නැත්ද ? හයි උන් සල්ලි නැහැ වගේ පෙන්නුවා නම් ඒක අවුල් .

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ වත්කම් හෙළි කරන එක ඉතාම හොඳ දෙයක්. පීඩිත පන්ති ආග්ඥාදායකත්වයක් ගැන මොනවද කියපු අය නිසා පොඩි කළකිරීමක් තියනවා, එච්චරයි. ලොකු අවුලක් නෑ. මේ ධනපති රටවල වුනත්, ආදායම වැඩි වෙනකොට බදු වැඩි වෙනවා ඝාතීය ලෙස. එහෙම කරලා තියෙන්නෙ අධික ඇති-නැති පරතරය සමාජයට හොඳ දෙයක් නොවන නිසයි. ඒ මොනවා තිබ්බත්, ධනපති ටැක්ස් සිදුරු වලින් රිංගනවා. ලංකාව ඉතිං "සමාජවාදී ජනරජේ" නිසා කොහොමද මන්දා?

      දේශපාලන විනිවිදභාවය, දූෂණ අවම කිරීම, මතට විරුද්ධ සටන වගේ දේවල් නං හොඳයි. කාර්‍ය භාරයක් නැති ඇමතිලා හිටි රටේ, ඇමතිලා 21ට අඩු කිරීම හොඳයි. දේශපාලු වරප්‍රසාද කප්පාදුව හොඳයි. රාජ්‍ය සේවයේ පිංබතාලට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමත් හොඳයි. ඒත් මම ඇවරේජ් පක්ෂියා නිසා පක්ෂයක් නෑ. හොඳ නං හොඳයි කියනවා, අවුලක් දැක්කොත් ඒකත් කියනවා.

      මට හැලපෙගෙ සයිට් එකට යන්න බෑ. දැන් බලාන ගියාම ඒකත් හොඳයි වගේ.😋

      Delete
    2. සමාජවාදී රාජ්‍යය නම ගෙනාවේ ජේ ආර් ලොක්ක නේද? නැගෙනහිර ජර්මනියෙන් කොපි කරගෙන. මේ ලඟදි අවුරුද්දේ සංවත්සරේ තිබ්බ. මාලිමා සපෝටර් කෙනෙක් ඔය කතාවම කිව්වා. මිනිහ රුපියල් මිලියනයක් දුන්නලු වසන්ත ගේ හා ජගත් මනුවර්ණ ගේ කතා අහල කලකිරිල ඉන්නේ කියල. මම ඒක 400 බෙදල කිව්වා ඔය පවුම් 2500 නේ දීල තියෙන්නේ. ලංකාවේ ඡන්ද කරන්න ලොකු වියදමක් යනවා. ජවිපෙ ඔය පෝස්ටර් ගහගෙන , පැලවත්තේ කාර්යාල හදාගෙන ඕව කොහොමද කරන්නේ කියල දන්නවද කියල? එක්කෝ බිස්නස කරන අයගෙන් සල්ලි ගන්න ඕනේ මොනවා හරි පොරොන්දු දීල අනික් පක්ෂ වගේ නැත්නම් අධාරකාරයන්ට අමතරව වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ කියල. විජේවීර ගේ කාලේ පොඩි පොඩි තේ කඩ, සිල්ලර කඩ කළා. ඒවා කලේ ෆුල් ටයිමර්ස් ලා. '88, 89 කෙස් වලින් පස්සේ ගොඩක් පිටරට ගියානේ. ඒ අය සල්ලි එවන්න ගත්තම ලොකු ව්‍යාපාර වලට ගියා. LTTE එක කැනඩාවේ , එංගලන්තේ කඩ, පෙට්රෝල් ෂෙඩ් රන් කලේ. ඒ අය කමිෂන් එකක් දෙන්න ඕනේ LTTE තමා සල්ලි දාන්නේ . මේකේ ලැබෙන ආධාර වලින් ව්‍යාපාර කලට ඒවා රෙජිස්ටර් කරන්නේ පක්ෂේ අයගේ නම් වලින්. ආදායම් බදු ගෙවන්නේ ඒ ඒ අය ගේ නමින්. ඔය කතාව හැමෝම වගේ දන්නවා. වසන්ත ගේ ඒවා එයාගේ වෙන්නත් පුළුවන්. පක්ෂේ වෙන්නත් පුළුවන්. මෙහෙ ජෙප්පෙක් ඉන්නවා රෝල්ස් රොයිස් , ෆෙරාරි තියෙන. මට නම කියන්න බැහැ . දන්නෝ දනිති. ඕක නිර්ධන පන්ති පක්ෂයක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි උතුරු කොරියන් සමාජවාදේ නම් ගේන්නේ නැහැ කියල ෂුවර් .

      Delete
    3. සෑහෙන හොඳ තර්කයක්. ඒත් අජිත් මේ හිත හදාගන්න, හිතල ගේන තර්ක නෙමෙයිද? මම දන්න දා ඉඳලම වමට බර පක්සියා. ඒත් මම කිසිම පක්ශයක අදහන්නෙක් නොවී ඉන්න තමයි කැමති. නැත්නම් හෝදන්න වෙනවා, හෝදන්න "බාග ඇත්ත" කියන්න වෙනවා. ඇයි පක්ෂය ඇත්ත නොකියන්නෙ? කෝ එතකොට "විනිවිද භාවයට" මොකද වෙන්නෙ. ඔවුන්ට හංගන්න දෙයක් නැත්නම්, මේ අපේ කුණු කතා අහගෙන ඉන්නෙ ඇයි?

      පක්ෂයේ නමින් නැතුව, එක එක්කෙනාගේ නමින්, පක්ෂයේ දේපල තිබීම ප්‍රශ්ණාත්මකයි නෙවෙයිද? ජවිපෙ සම්ප්‍රධායික වාමාංශික දේශපාලනයෙන් වෙනස් වෙච්ච එක කාළීන, බුද්ධිමත් තීරණයක්. ඒත් ඒක එහෙමයි කියලා, දාස් කැපිටාල් පුච්චන්න හදනව නං ඒක අවුලක්.

      Delete
    4. නැහැ නේ . මම ඒ කාලේ ඉඳන් පරණ ජවිපෙට විරුද්ධව ලියපු කෙනෙක් නේ . https://kolambagamaya.blogspot.com/2019/06/blog-post.html
      මම එයාලට ලිව්වෙම සන්ධ්නයකින් එන්න කියල ඒ දවස් වල නජිත් ඉන්දික හෙම මට විරුද්ධව ලිව්වනේ මම පෞද්ගලික වෛද්‍යව විද්‍යාල වලට පක්ෂ නිසා . දැන් ඒ ගොල්ලෝ ඒ තැනට ඇවිල්ල ඉන්නවනම් මම විරුද්ධ වෙන්නේ මොකටද ? සෝමවංශ හා විරවංශ එක්ක ජාතිවාදීන් ටික ගියා . කුමාර් ල එක්ක අන්තවාදී වම ගියා . ඉතිරි වෙලා ඉන්න මධස්ථ සෙට් එකක් නේ .
      https://kolambagamaya.blogspot.com/2015/05/blog-post_7.html

      Delete
    5. තාම අනුර විතරයි වැදගත්, නිහතමානී විදිහට ඉන්නෙ. හරිනි සැටලයිට් ඇරියා. තව කව්ද කිව්වා, අපි හිඟන්නො නෙමෙයි කියලා. අනික මොකද්ද මේ ඉන්ටප්‍රීටර් කෙනෙක් යූස් කරන්න බැරි හීනමානෙ? වෙනස් වුනාට, "පක්ෂය විවේචන තහනම්" වගෙ නරකම ප්‍රතිපත්ති ටික ගෙනැල්ලා වගෙයි පේන්නෙ.

      Delete
    6. //පක්ෂයේ නමින් නැතුව, එක එක්කෙනාගේ නමින්, පක්ෂයේ දේපල තිබීම ප්‍රශ්ණාත්මකයි නෙවෙයිද?නෙවෙයිද?// ඔය පස්කයේ ඉතිහාස්‍ය දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ . තහනම් කරල හිටපු එකක් නේ . හැංගිලා ඉන බේරෙන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා . පක්ෂයේ දේපල එකේ එක්කෙනාගේ නමින් තිබීම ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන් ඒවා පෞද්ගලික පාවිචිචියට ගත්තොත් නේ පක්ෂයෙන් අහන්නේ නැතිව. එතකොට එක දුෂණයක් . එහෙම කෙනක් ඉඳල අස් කලාද කොහෙද වාස් තිලකරත්න වගේ . සීයට සියක් හොඳ නැතිව ඇති . හැබැයි ඔය කුණු කතා අහගෙන ඉනේ ඇයි කියන එකට නම් මට උත්තරයක් නැහැ . කෙනෙක් කීව "බල්ලෝ බුරන බුරන පලියට උත්තර දෙන්න ගියොත් එයාලගේ ගමන යන්න වෙන්නේ නැහැ" වගේ කතාවක් . " මම නම් දැනට සපෝර්ට් කරන්නේ ඔය හොර දෙටුවෝ ටික අල්ලන කල් සහ අන්තවාදී වමට යන්නේ නැතිව ඉන්න කල් විතරයි .

      Delete
    7. ඒ කොටසට එකඟයි. ඔය ""බල්ලෝ බුරන" කතාව වගේ උද්දච්ච කතා හුඟක් ඇහිල තියනවා. මම ඒකයි කිව්වෙ අනුර විතරයි කාඩ් එක කුඩු කර ගත්තෙ නැත්තෙ කියලා. "එයාලගේ ගමන" යන්නෙ ඔය සැට් එක ගැන නම්, අනේ මන්දා......?

      Delete
    8. අපි නම් විවේචන කරනවා ඉන්න ගෘප් වල . ඒ වල මම හිතන්නේ හැමෝම නැහැ . ඔය සැට් එකේ ඉතින් ලොකු අවුලක් නැහැ . ඉඳ හිට මඩකරි කතා කීවට , හඳුන්නෙත්ති, හේවගේ වගේ . අර උපේක්ෂා ස්වර්ණමාලි ලා පාර්ලිමේන්තු යවපු රටනේ ඕක . සනත් නිශාන්ත , ලන්සා , ජුලම්පිටිය අමරෙල රන් කරපු රටනේ . ඒ තිබ්බ විධිහට මෙතන තවම අවුල් නැහැ මටනම් . ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ , හැබැයි හැදෙයි කියල හිතනවා. රාජ්ය් අදායම වැඩියි . අයවැය හිඟය අඩුයි . ෆොරෙක්ස් ආදායම වැඩියි . ණය රේටින් හොඳයි . පාරවල් , දුම්රිය ස්ටේෂන් හදන ඒව කරගෙන යනව . අර ළමා අපයෝජන පනත හැකිලුවොත් කදිනල්ලට බය වෙලා, එතකොට මෙයාලට විරුද්ධව නම් අදින්න වෙනවා . . මේ ලිපිය දැක්කද ? https://www.lankaenews.com/news/16844/si

      Delete
    9. බොහොම හොඳයි එහෙම විවේචනය කරන එක. ඇත්තම, බැන්නත් මුං තමා දැනට තියෙන එකම බලාපොරොත්තුව. මඩකරි කතා තමයි ඉවසන්න අමාරු.

      Indian Ocean Maritime Diplomacy සහ රජයේ කාර්යභාරය

      Delete
    10. මුන්ගේ මාකටින් හෙම හෙන අවුල්. මිඩියා කරන උනුත් අවුල් . . ඒකත් එක ප්‍රශ්නයක්. කාංචන විජේසේකර ල හෙම කරපු දේ ගානට මාකට් කළා . හඳුනා ගේ අමාත්‍යං න්ශේ සමාගම් ඔක්කොම වලින් මේ අවුරුද්දේ ලාභයි පළමු වතාවට (ගෘප් එකේ ගණන් මිනුම් කතා වුනා . ඌ ඒක මාකට් කරනවා වෙනුවට උද්ධච්ච කතාවක් කියල කිච වෙනවා . හදන්න බෑ 😁

      Delete
    11. අමාත්‍යංශ සමාගම් වලින් ලාභ ලබන එක කොච්චර ප්‍රායෝගිකද මන්දා? ඕව වල ඉන්නෙ අරටු බැහැපු සුදු අලි.ඔය මිලියන ගණන් පාඩු පිට නඩත්තු කරන සුදු අලි ගැන යම් ක්‍රියා මාර්ගයක් ගන්නම වෙනවා. ආණ්ඩුවට කාර්‍යක්ෂමව ව්‍යාපාර කරන්න බැරි නං, කරන්න හැකි කුඩා ව්‍යවසායකයින්ට අත-හිත දෙන එක වඩා හොඳයි.

      මට ජෙප්පොන්ගෙ වත්කම් ගැන තියෙන අවුල මේකයි. මම කොහොමත් අල්ට්‍රා රිච් උන්දලට කැමති නෑ. දේශපාලකයො අල්ට්‍රා රිච් වෙනකොට, කොහොමවත් කැමති නෑ. පේනවනෙ ට්‍රම්පුච්චා එලිපිටම දේශපාලන බලයෙන් මඩිය තර කරගන්න හැටි.

      උදාහරණයක් විදිහට වී අලෙවි මණ්ඩළය බුදිය ගෙන ඉන්න කොට, ඩඩ්ලි කුඹුරටම ගිහින් වී ටික ඔක්කොම ගන්නවා. රයිස් බැරන්-ඩඩ්ලිට සල්ලි තියනවා, මෝල් තියනවා. සදාචාරාත්මකව කෙසේ වෙතත්, ඩඩ්ලි කරන දේ නීත්‍යානුකූලයි. "කීරී සම්බා නැති වුනාට නාඩු තියනවා" කියල ඩඩ්ලි කියන කොට, ජනතාවාදීයි කියල හිතලා, පත් කරගත්ත ආණ්ඩුව ඩඩ්ලි ලඟ පදිරි වෙනවා.

      පාඩු වුනත්, වී අලෙවි මණ්ඩළේ පිං බතාලව ආණ්ඩුවෙන් නඩත්තු කරන කොට, ඩඩ්ලි කාර්‍යක්ෂම ව්‍යාපාරයක් සහ සහල් මාෆියාවක් රන් කරනවා. ඇමතිලා මඩකරි කතා කියන කොට, විපක්ෂයෙ පරණ හොරු හුදී ජනයාගෙන් "ආ , දැන් සැපද?" අහනවා.

      Delete
  13. පරිභෝජනවාදයෙන් අවදි කරවන ලිපියක්. මගේ ජීවන රටාවත් ණයත් නැති බයත් නැති එකක් . හැබැයි ඒකට හුඟක්ම උදව්වෙන්නේ අනවශ්‍ය social status එකක් maintain කරන්න වුමනාවක් නැති කම. Urban Poverty ධනවාදී රටවල බහුලයි. ධනවාදයම ලොකුම ලොකු පිරමිඩ ජාවාරමක් කියලත් කියනවනේ. frugal living වලට තියන ලොකුම අභියෝගය social සහ peer pressure එක. අන්තිමට Frugal Living කියන්නේ පොඩි කාලේ ඉඳලම අපි අහන සම්මා ආජිව, සන්තුට්ටි පරමං ධනන්, මධ්‍යම ප්‍රතිපදාව, තණ්හාය ජායති සෝකෝ වගේ දේවල් වල එකතුවක්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පාර දෙපැත්තේ, සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුණන්නේ
      නුවරු රිසි,රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ - කාඩ් එකෙන් ගෙවන්නේ

      ධනවාදයෙ වගේම සමාජවාදයෙත් ප්‍රශ්ණ තියනවා. ඔය දෙකම අන්තයවාදී වුනොත් යන්නෙ ඒකාධිපති වාදෙට. ඔබ කිව්වා වගෙ, මැදුම් පිලිවෙත තමයි හොඳ. ඒකම Frugal Living වලටත් බලපානවා. ඒකෙ වුනත් අන්තයට නොයන්න වග බලාගන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. සෝවියට් දේශයේ මම දැක්ක එකම හොඳම දේ ඒක . මිනිස්සු තියෙන දේවලින් සතුටින් හිටියා . කාල බීල. හැබැයි ඊට පස්සේ උන්ට බටහිර තියෙන ඔක්කොම ඕන උනා . දැන් ආපහු අනිත් පැත්තට යන්න කැමති සෙට් එකක් ඉන්නව . ටූ ලේට් 😁

      Delete
    3. ලංකාවෙ සමාජවාදී ආර්ථිකයක් හදන්න ගත්ත උත්සාහය නං අල වුන බවයි දන්නෙ. හාල් පොලු, මිරිස් පොලු, පාං පෝලිම් යුගය. බඩ තඩි මීයන් මෙන් සිටි සමූපාකාර මැනේජර්වරු, දේශපාලන පත්වීම් යුගයට යන්න මගේ නං කැමැත්තක් නෑ. නායකයො සුර සැප විඳින ගමන්, හුදී ජනයට කැත්ත අරං වරෝ, උදැල්ල අරං වරෝ කියලා ආණ්ඩුවෙ හොරණෑවෙන් බෙරිහං දුන්නේ ඔය කාලෙ නේද? ඒත් මේ ටිකත් කියන්නම ඕනෙ: ඒ යුගයේ රට කාර්මික කරවන්න හොඳ උත්සාහයක් ගත්තා. ඒත් කළමණාකරනය, සප්ලයි චේන් එක ලෙසටම අනා ගත්තා. ඕකෙත් මූලික අවුල, සම්පත් විශම ලෙස බෙදී යාම තමයි.

      ධනවාදය කාර්‍යක්ෂමයි, ඒකෙත් අවුල සම්පත් විශම ලෙස බෙදීම තමයි. 1% පමණ වන කෝටිපති, වස්තුව පොදි ගහ ගන්නවා. මුදල් සංසරණය මත පාදක වුන ධනවාදී ආර්ථිකයට මෙය නරක ලෙස බලපානවා.ඒ අතර වැඩි පිරිසක් වන "වෙන්ට" පොෂ් පංතිය, ඉතිරි දං කුඩ වලට පොර කනවා. ඔය අතර පහලම ඉන්න පාදඩ පන්තිය සිස්ටම් එක උලා කනවා.

      Universal basic income (UBI) වගේ නව ආර්ථික මොඩල් යෝජනා ඉදිරිපත් වෙලා තිබුනත් ප්‍රතිඵල ගැන දන්නෙ නෑ. අපි බලමු “late-stage capitalism” මොනවද මේසෙට ගේන්නෙ කියල නේද?🤔😁

      Delete
  14. සුපිරි කතාවක් බසු මහත්තයා. මෙහේ ජීවත්වන අනික් මිනිස්සුන්ට ගාණක් නැති වුණත් අපේම රටින් ආ අය අනෙක් අයගේ වාහන සහ ගෙවල් ගැන හොයන හැටිත් , පෙන්නන්න කරන වැඩ සහ මුහුණු පොතේ දාන ෂෝත් දැක්කාම හරි දුකකුත් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මූණු පොතේ නොගැවසෙන එකත්, වැඩි සමාජ බජනෙට නොයන එක ගැනත් දැන් පසුතැවීමක් නෑ කියල හිතෙනවා.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code