බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි.
කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.