Jan 20, 2014

නයි සහ හොරා කයි

ඕං මේ ඊයෙ පෙරෙයිදා උදේක , මං සුපුරුදු පරිදි , හීල සප්පායම් වෙලා ත‍ටු දෙකත් පොරෝගෙන හොඳ නිදි වඩියකට ලක ලෑස්ති වුනා. මට ඇහෙනවා කව්දෝ පිඹිනවා - සුපුරුදු සද්දයක් , ෂූ..ෂූ.... බැලින්නං මෙන්න බොලේ අපේ කොබෝ නයි උන්නාන්සෙ, ආයෙත් අත්ත උඩට වැඩලා.

" අප්පට සිරි ගජ. මේ අපේ ඒජන්ට් කොබා නාග රාජෝත්තමය නොවැ. ඉතිං, ඉතිං , කොහොමද සැප සනීප?  අර එදා හොට බිම ඇනිච්ච එකට තාම පත්තු බඳිනවද? මං නං හිතුවෙ නෑ ඒ වෙච්ච අලකලංචියෙන් පස්සෙ ඔබතුමා ආයෙ මෙහාට සැපත් වෙයි කියලා"


" ආ, ඒ මේ පොඩි ලෑන්ඩින් ගියර් අප්සැට් එකක්, පස්සෙ මං ඒක හදා ගත්තා"

" ඉතිං, මොකදෑ, ඔබතුමා මේ උදෑනැක්කෙ? ආයෙ පැමිණිල්ලක් වත්ද?"

" පැමිණිල්ලක් නං තමා. ඒත් බයවෙන්න කාරි නෑ, මේක ඔහෙට විරුද්ධව දාපු එකක් නොවෙයි. ඔහේ දන්නව නෙව, අර ඇනෝ මී සැට් එක, එයාල කියනවා, අද වැඩිදෙනෙක් ලියනවා කියල කරන්නෙ, කාගෙ හරි එකක් හොරා කන එකලු. ස්වතන්ත්‍ර නිර්මාණ කියලා දෙයක් ඇත්තෙම නැතිලු. එක්කෝ කාගෙහරි එකක්, අරගෙන තමන්ගෙ වගේ දානවලු. නැත්නම් විකි පීඩියාව ගෙඩි පිටින් කොපි කරල දානවලු"

" ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නැ, බලාන ගියාම"

" එක නෙව බස්සො කියන්නෙ. මං අහන්නෙ, ඇයි මුන්දලට බැරි,  ඔය කැත වැඩේ නවත්වන්න. කුජීතයි නෙව? හා, මං කියන්නෙ බොරුද?"

" මේ මොනව කියනවද? ඔබ තුමාගෙ සිරි මුකයෙන් යමක් කීවොත් ආයෙ ඒකෙ හෝදන්න දැයක් තියනවායැ? ඒක නෙමෙයි, සෑර්, ඔය මී සැට් එක  කවදාවත්  හොරකමක් කරලම නැත්ද? නෑ, මං කියන්නෙ , අඩුම තරමේ  මේ චීස් කෑල්ලක්වත්?"

" චෑ,චෑ, අන්න කිව්ව කැත කතාවක්. අපේ  මීයො චීස් හොරා නොකාන බව මං ඉන්තේරුවෙන්ම විස්වාසයි. අනික, චීස් තියෙන්න එපෑයැ කන්න. ඔය පොල් කෑල්ලක් දෙකක් නං පන්නගෙන යන්න ඇති. ඒත් ඒක  ගෙවල්වල කස්ටිය, කරකරලා කැමැත්තෙන්ම දෙන දේ නොවැ? එතන කොහොද හොර කමක්?"

" නෑ මං කිව්වෙ, ඔය මීයො  ලියන කට්ටියද?"

"ලියන කට්ටියද ඇහැව්වා? මේ මොනව කියනවද,  එකෙක් අඩුම ගානෙ පොත් හත අටක්වත් ලියලා ඇති. පුහ්, බලන්න එපෑයැ උන් ලියන අපූරුව, මේ මැල්ලුම් ලියන ගානටම ලියලම දානවා"

" ඒකත් එහෙමද, නෑ, මං කියන්නෙ මේ අනිත් ලියන අප්පුලා, මෙනවම හරි ලියනවා නොවැ. උන් ලියන හන්දා නොවැ, මී අප්පුලට පැමිණිලි කරන්න දෙයක්වත්  තියෙන්නෙ? හරි, වෙන තැනකින් ගත්තමයි කියමුකො. අතනින් මෙතනින් කරුණු හොයාගන්නයි, එව්වා පරිවර්තනය කරන්නයි, සෑහෙන මහන්සියක් වෙන්න ඕනා නෙව"
" ඒ වුනාට බස්සො, හොරා කන එක කැතයිනෙ? මං කියන්නෙ  නං ඒක මහ කුජීතයි"

" ඇත්ත, වැඩේ කැතයි තමා. ඕං බලන්න , මං නං ලියන්නෙ ඔරිමජිනල් එව්වා විතරයි. දැං බලාන්ට , ගුරුත්වාකර්ශණය හොයා ගත්තෙ කව්ද?"

"ගුරුත්වාකර්ශණය? මේ අපේ නිවුටොං ලමය නෙවද? අර ඇපල් ගහක් යට බුදියගෙන ඉන්නකොට ගෙඩියක් ඔලුවට වැටිලා , ටිකක් නුහුගුණේ වගෙත් තිබුණෙ?"

" ආන්න හරි, ඒ ගෙඩිය නිවුටගෙ ඔලු ගෙඩියට අතෑරියෙ කව්ද? ඒ ගෙඩියෙ නැට්ටට  කෙ‍ටුවෙ අපේ පරම්පරාවෙ  මීබස්සෙක්.කොටින්ම, රෝදය නැවත් සොයා ගත්තෙත් බස්සෙක්ම තමා"

" නැවත සොයා ගත්තා කිව්වා? ඇයි ඒක නැතිවෙලා තිබ්බද, කවුරු හරි හොරකං කලාද?"

" නැත්නං, ඔය මීයො සැට් එකක් තමා ඒක උස්සගෙන ගිහින් තිබුනෙ""


"අම්මපා, මං දැන ගෙන හිටිය නෑනෙ"

" එක නෙව  සැර්, මං කියන්නෙ . දැන් බලාන්ට ඔය පහල සැකුරිටි කොම්පැනියෙ අයිතිකාරය කව්ද"


" කිරි අප්පට බස්සො කොටපි. නෑ එයත් බස්සෙක්ද?. එතකොට  මේ ස්වතන්ත්‍ර නිර්මාණවලයි, බකුස්-ටෙක් කොම්පැණියෙයි සම්බන්ධෙ මොකක්ද?"

" කිසිම සම්බන්ධයක් නෑ. ස්වතන්ත්‍ර නිර්මාණ කලත්, එහෙම නොකලත් ඔව්ව ඔක්කොම නිර්මාණ තමයි. ඇයි අවුල්ද?"

" නෑ , මට නං  අවුලක් නෑ. මීයොන්ට තමා අවුල්"

" හා, සෑර් ඒකට  අප්සැට් ගහන්න එපා. මං  මූකලං අවුල් නෙව. සෑර්, රිපෝට් එකේ දාගන්න 'හැම සාර්ථක/චාටර් නිර්මාණයක් පසු පස බස්සෙක් සිට ඇත' කියලා"


15 comments:

  1. එහෙනම් ඉතින් බස්සො හිටියෙ නැත්නම් ගුරුත්වාකර්ෂණෙත් හොයාගෙන නෑ තාම :-)))

    ReplyDelete
    Replies
    1. අර නිව්ටොං ගොයියා වැරදිලාවත් දූරියන් ගහක් යට නිදාගන්න ගියා නං,, නිව්ටත් නෑ, ගුරුත්වාකර්ෂණෙත් නෑ :)

      Delete
  2. ඒ කියන්නේ 'හැම සාර්ථක/චාටර් නිර්මාණයක් පසු පස 'අවුල්' ඇත.. නේද?

    ReplyDelete
    Replies
    1. ආන්න, සෑර්ට තේරුනා ඇත්තම කතාව :)

      Delete
  3. බස්සන්ට ගිය කල... හි හි...

    අනිත් ඒවට ඉතිං මක්ක කියන්නද... හැබෑව නේන්නං කියනව මිස....

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං වටපිටාව ගැන බකුසු ඇහැ දාගෙන තමා ඉන්නෙ. ලියන්නන් ගැන කියවන්නන් නොදකින පැත්තක් කියන්නයි ඕන වුනේ :)

      Delete
  4. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා - තියෙනව
    මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා

    - ආචාර්‍ය මීයා -

    ReplyDelete
    Replies
    1. මාත් කැමතිම නාට්‍ය ගීත වලින් එකක්. ඔව්, ඔව්, ඒකෙන් තමා පොත් 'ලියන' මී කතාව ඉස්සුවෙ :)

      Delete
    2. මං මේ කල්පනා කලේ, ඒ කාලෙත් 'ආචාර්‍ය මීයො' ඉඳලා තියෙනවා නේද බං.. ;)

      Delete
    3. @බුරා
      නතුව, නැතුව :)
      මං හිතන්නෙ මී ආචාර්‍ය පට්ටම ගන්න නං කාගෙ හරි තීසිස් එකක් ලියලා දාන්න ඇති

      Delete
  5. නයින්ගෙ විතරක් නෙමේ මීයො ප්‍රියතම ගොදුරක් බස්සන්ගෙත් !

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මේ කුරුමාණම් අල්ලන්නේ...:D:D

      Delete
    2. @Pra Jay
      නෑ, නෑ, මං වැජිටේරියන් බස්සෙක් :)

      @පොකු
      මොන කුරුමාණම් ඇල්ලිල්ලක්ද? මීයො නැති බ්ලොග් අවකාසෙ, පරිප්පු නැති හෝටලයක් වගේ වෙයි.

      Delete
  6. බස්සට පිස්සු. බස්සෙක් එවපු ඇපල් ගෙඩිය ආවේ ටොමියගේ ඇඟට . ටොමියා තමයි ඒක නිව්ටන්ගේ පැත්තට නැට්ටෙන් ගහලා යැව්වේ. ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ හොරෙන් ගෙනාපු පාන් බාගයක් කකා හිටපු ටොමියා හන්දා...බස්සෙක් කරපු දෙයක් නෑ. :)

    ReplyDelete
  7. ආන්න නෝනෙට තමා ඇත්ත තේරුනෙ. මූ මහ හොර බස්සා :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code