Jun 7, 2015

බස්සා සහ සිංහයා



පහුගිය දොහක මං ගියා මැද මූකලානෙ, මිත්තරයෙක් මුනගැහෙන්න. ඔය රූස්ස කැලේ , ගල් දෙබුක්කාවක් ලඟ තියෙනවා දොල පාරක්. මාත් ඒ පැත්තට පියෑඹුව , වතුර ටිකක් බොන්න හිතාගෙන. 

"ෂ්,ෂ්, බෂ්ෂො" කව්දෝ මට කතා  කරන සද්දයක් ආව. ඔහෙලට කියන්න, මට පොඩි බයකුත් ආව, ඔය සාවියෙ හොල්මන් ගැන අහල තිබ්බ නිසා. කව්දෝ  ගොබිලෙක් දොල ලඟ ගල්තලාවෙ  ඉන්නව පේනව.

" බෂ්ෂො, වරෙන් , වරෙන්. උඹලට දැන් අපිව පේන්නෙත් නෑ නේද? කෝ අර කලින් තිබ්බ රාජපක්ස බාවෙ?"

" අම්මට හුඩු, මේ අපේ හිටපු රජතුමා නෙව?  ඉතිං, ඉතිං කෝමද සැප සනීප කාරිය?"

" සැප? සැප කණේ. මතක් කරන්න එපා. අර නිල් බාල්දියට වැටිච්ච නරියා, මගේ රජකම පැහැර ගත්තට පස්සෙ. මේ පේන්නැද්ද ?  විස්කි බ්‍රැන්ඩි ගහපු තේජවන්ත රජෙක් නේද, අද මේ කසියා ගහන්නෙ?" 

" අම්මපා, රජෝ  ඒකනං හැබැව. කොහොමට හිටපු රජෙක්ද , මේ  ඇඳිලා ගිහිල්ලා තියෙන්නෙ?" කොකටත් සූජානං සරීරෙ කියලා මං ගල්තලව ලඟ තිව්ව ගහක ටිකක් උස අත්තක ලෑන්ඩ් කරන ගමන් මං කිව්වා.  බඩගින්නෙ ඉන්න සිංහයක්ව විස්වාස කරන්න බෑ නෙව?  කොහොමත්, උන්දෑ රජවෙලා ඉන්න කොට , රටම උලා කාපු හැටියට , බස්සෙක් මොන කජ්ජක්ද?

" ඌ වළඳන්නෙ මගේ රාජ භෝජන. ඉන්නෙ මගෙ රජ ගෙදර. මූව මකබෑවිලා යන හදි හූණියම් උඹේ  සාත්තරෙ නැහ්ද ගණින්නාන්සෙ? " හිටපු රජතුමා දෙස් දෙවොල් තියන්ට තිබා ගත්තා.

" කොහෙ ඉන්න ගණිතයෙක්ද, රජෝ, ඇයි මතක නැත්ද  ඔබතුමා එයාව පැන්නුවෙ පරාද වෙච්ච වෙලාවෙ"

" හා, හැබෑ නේන්නං. කට ඇරියොත් කිව්වෙ බොරු. උන්දැගෙ සෑස්තරේ තමා මාව නැති කලේ"

" හැබැයි රට්‍ටු නං කියන්නෙ වෙන කතාවක් රජෝ. ඔබතුමා රට වැසියොන්ට 2500න් කන්න කියලා, රටම උලා කෑව කියලයි කියන්නෙ"

"මුංට හෙන ගහන්න එපැයි මේ කියන කතා වලට? රටම කෑවෙ නෑ, පොඩි කෑල්ලක් ඉතුරු කොලා. ඒකත් කන්න සැට් වෙන කොට තමා, මුං මාව පැන්නුවෙ. බලාපං, බෂ්ෂො මුං වගේ කෙලෙහිගුණ නැති ජාතියක්?  මං නේද  මුංව කොටින්ගෙ  කරදරවලින් බේරගත්තෙ? රට වෙනුවෙන් තමන්ගෙ දරුවව පවා හමුදාවට පූජා කලා. වෙන රජෙක් නං එහෙම කරයිද?"

" අනේ මංද? රට්‍ටු නං කියන්නෙ, හමුදාවෙ හිටියට එයා  සටන් බිමක් දැක්කෙවත් නෑ කියලයි. අතට පයට කමාන්ඩර්ලා වැඩට තියාගෙන හමුදාපති වගේලු හිටියෙ."

" ඇයි යකෝ, මුං කියන්නෙ රාජ කුමාරයෙක්  තුවක්කුවක් කරේ තියාගෙන , මැරෙන්න යවන්න ඕනෙ කියලද? ඒකට තමා මේ සාමාන්‍ය සෙබලු ඉන්නෙ."

" රට්‍ටු නං කියන්නෙ , ඔබතුමා යුද්ධෙත් විකුණගෙන කෑව කියලයි "

" කව්ද ඩෝ, එහෙම කියන්නෙ? පෙති, පෙති කපල ඇඹුල් තියල් දානව ඩෝ" රජතුමා සරම කරට ගත්තා.

" හා, හා රජතුමනි, වසී බෝලෙත් පේනවා. සරම පහලට දාන්න, ගැලරියෙ ඉස්කෝලෙ ලමයිනුත් ඉන්නව නෙව?"

" දැං බලාපං, ඒක අර  ගණිතයගෙ වැ‍රැද්ද නෙව? ඕකා කිව්ව නෙව මට සදාකාලික රාජයෝගයක් පිහිටලා තියනවා කියලා. ඉතිං මාත්  කාගෙන, කාගෙන ගියා"

" ඒක නෙමෙයි රජෝ, අර ඔබතුමාගෙ සෙරෙප්පු සුප් බිබී හිටපු ගස් බඳින හාදයා  පැන්නලු නේද අනිත් පැත්තට?"

" මතක් කරන්න එපා දෙපිට කාට්‍ටුවව. රිලවයි, තව ඌරො සැට් එකකුයි විතරයි මයෙත් එක්ක ඉන්නෙ. ආරංචි විදිහට එච්චර සාර සුබාවක් නැතිලු සෙරෙප්පුවට. ඕකා ආයෙ එයි බඩගාගෙන මයෙ සෙරෙප්පුව ලෙව කන්න"

" එයා නං ඔබතුමාටම කැපෙන හාදයා. එතකොට හිටපු ‍රැජිණ ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?"

" මතක් කරන්න එපා,ඔය ගෑණිව. මුලින් නරියා කැමති වෙලා නෑ රජ වෙන්න. ඔය ගෑණි තමා ඌව නිල් බාල්දියට තල්ලු කරලා තියෙන්නෙ. ඔය ඔක්කොම කුමන්ත්‍රණ පස්සෙ ඉන්නෙ ඔය ගෑණි තමා"

" ආරංචියෙ හැටියට , උන්දැගෙ  කියන්න තරම් වැ‍රැද්දක් නෑලු. ඔය ඉන්නෙ යස අගේට?"

" ඒක නෙව මැටි බස්සො, මාත් මේ  කොහෙන් හරි කොනක් හොයාගෙන අවුලල රට ගිණි තියන්න හදන්නෙ?"

"  කොන් හොයා ගෙන අදින පරණ කේස් වලින්, දැං ඔබතුමාගෙ කස්ටියගෙ පස්සට ගිණි ඇවිලිලා කියලයි රට්‍ටු කියන්නෙ"

" උඹට ඇත්තම කියන්න මාත් ටිකක් බයේ ඉන්නෙ. ඔය ඉඩ තියන වෙලාවට පන්සල්, කෝවිල් ගානෙ යන්නෙත් ඒ නිසා තමයි"

" අම්මපා රජෝ, එව්වා දැක්කාම මට මතක් වෙන්නෙ අපේ හිටපු රජෙක් - පුෂ්ප කුමාර. උන්දැට නං  ඒ පිං ඉක්මණටම  පල දුන්නා, බොහොම ඉක්මණටම ස්වර්ගස්ථ වුනා"

" මට දැම්ම ස්වර්ගස්ථ වෙන්න බෑ බොල. අම්මපා මතක් වෙනකොට බඩ පපුව දාලා යනවා විඳපු රජ සැප. මොන බාල්දියක් ඇදලා හරි  ආපහු රජ වෙන්න දත කන්නෙ ඒකයි"

 " ඒ කිව්වෙ ආයි රජවෙලා පරණ වැරදි හදාගෙන  යහපාලනේ කරන්න වත්ද?"

" තොට පයිත්තියංද බෂ්ෂො? රෙද්දෙ යහපාලනයක් නෙමෙයි. ඉතුරු වෙච්ච් තැන ඉඳන් ආයිත් කන්න. ආ පරණ වැරදි නං හදා ගන්න තියනවා. පහුගිය වතාවෙ වගෙ  කොන් ඉතුරු කරන්න හොඳ නෑ"

තව මගේ තියනව ලිස්ට් එකක් ගල් ගහලා මරන්න ඕනෙ අය එහෙම. ආ, ඉඳා ගහපං උඹත් මේකෙන් පොල් කට්ටක්. අමුර්තෙ වගේ, රජ බඩු"

" බොහොම ස්තූතියි ඔබතුමාට. මගේ පාව්ච්චියක් නෑ"

" අරී, අවුලක් නෑ, බෂ්ෂො. එහෙනං අපිත් කැපුනා"

ඉතුරු අරිස්ට වඩියත් කටේ හලාගත් හිටපු රජතුමා, ගස්ගල් වල වැදෙමින් සීපදයක් කියාගෙන පල්ලම් බැස්සේය.

නපුරු කලට සතහට පැමිනෙන විපත
එදුරු නොවෙයි කලකම් පල දෙවා මිස
යන්න ගියත් යන්න දෙන්න බෑ
ලොං හැලුනත් රජා, රජා මයි



කැටගරිය : මුට්ටිය දමා බැලීම

ප.ලි: බස්සො දන්න දේශපාලනේ





14 comments:

  1. මම බැලුවා මම වැරදි බ්ලොග් එකට ඇවිල්ලද කියලා දේශපාලනේ දැක්කම.

    ඒ උනාට මරු බස්සොන්ට පොලිටික්ස් වුනත් ගැලපෙනවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මං ටිකක් විචිකිච්චාවෙන් හිටියෙ, ඇදගෙන නාන්න වෙයි කියලා.

      ඒත් තාම විස්වාස නෑ. දරුණු සත්තු එන්නෙ තව පරක්කු වෙලා :)

      Delete
  2. සබන් ගාන්නේ නැතුව නාලා ලෑස්තිවෙලා තියෙන්නේ මේකටයි එහෙනම්...:P

    ReplyDelete
  3. එක්ස් සිංහයන් ගෙන් නම් බස්සට පරිස්සංවෙලා හිටියහැකි ගහේ.
    ඒත් රිලව් ගස් යනව, බස්ස බටහිරනේද? උන්ට පාස්පොර්ට් වුනත් ඕනෙ තරම් තියනව බටහිර කුමණ්ත්‍රන ඇල්ලීමට ආත්ම ගානක් පතාගෙන ආව දේස හිතයිසී වර්ගයේ ඔරිජිනල් රිලව, රිලවා විතරක් නෙමෙයි හැට, සොරි සොරි හැට නෙමෙයි අසූව, පැන්නත් වට්ටක්කා වඳුරො ගස්වල.
    තව ඉන්නව ගස්වල ඉන්න බස්සන්ගෙ වුනත් පිහාටු හැලෙන්න යටිගිරියෙන් බෙරිහන් දෙන් ජාතියෙ එවුන් අපිට එයාමයි ඕනෑ ඔනෑ ඕනෑකියල . බලාගෙනයි.

    ReplyDelete
    Replies
    1. හුටා, රිලවුන්ගෙනුයි, වඳුරන්ගෙනුයි පරිස්සංවෙන්න වෙයි වගේ :)

      Delete
  4. මැද මූකලානෙදී බෂ්ෂාට හම්බු වෙලා තියෙන්නේ හොල්මනක් නෙන්නම්.
    බය වෙන්න කාරි නැහැ.ඔය හොල්මන් ටික දවසයි.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් නං කාරි නෑ

      Delete
  5. මැද මූකලාන එච්චර හොද තැනක් නෙමෙයි බන්ස්..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ඔය මැද මූකලාන හොල්මන් විමානෙ

      Delete
  6. මැද මූකලාන නේ...?

    හොඳයි බං උඹේ ලියවිල්ල...

    ReplyDelete
    Replies
    1. මේ මුට්ටිය දාලා බැලුවෙ, කොහොමද කියලා :)

      Delete
  7. හික්ස්! මොලේ කල්පනාකරල ඉස්සරහටත් උස අතුවල විතරක්ම පාක් කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් :)

      මේ කමෙන්ට් එක දැක්කෙ පහුවෙලා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code