- පිටකොටු ගිය බස්සා
පිටකොටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකොටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්‍ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.
එදාට අර ලූණු කොල තට්‍ටුව බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකොටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකොටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.

