Jan 10, 2022

තර්ජන ,ගර්ජන සහ ආරක්සාව

"මැරුං නොකා ලියපිය" කියලා චිට් එකක්, බෙල්ල හපන ආදිපාද එවල තිබුණා. මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්. 

දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්‍රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්‍රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්‍රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.

දැන් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, ආරක්ෂාව කියන එක සාපේක්ෂයි , 100% ආරක්ෂාව කියල එකක් නෑ, කියල. දැන් ඔය MacOS වල වෛරස්, සයිබර් ඇටෑක් අඩුයි කියනවනෙ. එහෙම වෙලා තියන්නෙ, MacOS වල ආරක්ෂාව වින්ඩෝස් වලට වඩා හොඳ නිසයි. එතකොට, "මොකටෑ අපි පුම්ක ඉරාගෙන මේක හැක් කරන්නෙ, අර ලේසියෙන්ම රිංගන්න ඇහැකි වින්ඩොස් තියෙන කොට?" කියලා හැකරු එන්නෙම
අපිට කෙලින්නයි.

වින්ඩෝස් වල ආරක්ෂාව, යම් පමණකට සවිමත් කරන ක්‍රම තුනක්:

1. Core Isolation

2. Microsoft Application Guard 

3. Windows SandBox

මේ ක්‍රම තුනටම, windows virtualization භාවිතා වෙනවා. මේ අතරින්, Core Isolation කියන්නෙ, වින්ඩෝස් වලින් නඩත්තු කරන memory integrity ආරක්ෂක ක්‍රමවේදයක්. අනිත් ක්‍රම දෙක, පාවිච්චි කරන්නා විසින් ආරම්භ කලයුතු, virtual environment දෙකක්. Microsoft Application Guard කියන්නෙ, බ්‍රව්සර් සෙෂන් එකකට එන Mini-SandBox එකක් වගේ එකක්.

ඉස්සෙල්ලාම, බයෝස් වලින් Hyper-V සහ Above 4G Memory Decording, ඔන් කර ගන්න ඕනෙ. එතකොට SandBox නං නිකම්ම වැඩ කරන්න ගන්නවා. Core Isolation, වින්ඩෝස් සෙටිං වලින් ඔන් කරගෙන, පස්සෙ Windows Features වලින් ඇක්ටිවේට් කරගන්න වෙනවා.  කාටත් තේරෙන, සරල "විසුල කවින්ද" ක්‍රමේට කියනවා නං, ප්‍රධාන පරිගනක සම්පත් වලින් හුදකලා කරන ලද, අතත්‍ය මතක ගබඩාවක ඇති, චෞර  පරිගනකයක් මවා දීමක් තමයි වෙන්නෙ. හැලප ගිලින්න යන්න, වල් ටුවර් දාන්න කියාපු භාණ්ඩෙ. රාජකාරිය අවසානයේ, අතත්‍ය පරිගනකය වාෂ්ප වෙනවා.

මේක ටැක්නිකල් ටියුටෝරියල් එකක් නෙමෙයි. මෙහෙම එව්වත් තියනවා, කියන දැණුම් දීමක් පමණයි. මේවා වල සීමා-මායිම් සහ ප්‍රායෝගිතාවය, රඳා පවතින්නේ, පාවිච්චි කරන්නා මතයි. ඒ නිසා ඈස්චර්‍යයක් බලා පොරොත්තු වෙන්න එපා.


ඔව්වා මොනවද ලොක්කා. මෙව්ව නෙව ඈස්චර්‍යය?



පාඨක ප්‍රතිචාර:

වැටධිපති: හෙහ්........

නමියා: අපි නොදන්න මොණරතැන්න?

විසුල කවින්ද: මේ.....ඔයාගෙ සසම්භාවී ප්‍රවේශ මතකය ගිගා බයිට් කීයද?


මුකලං බස්සා: සුරුස්.............


66 comments:

  1. ජනතාව ප්‍රශ්ණ මැද දුෂ්කර කාලයක් ගෙවද්දි, පාලකයින් 'incognito mode' ගිහින්ද කියලත් හිතෙනවා වෙලාවකට. චෞර පරිඝණකනෙ කොහොමත්.

    ReplyDelete
    Replies
    1. ඒ අතරේ, අනික් කට්ටිය බොර දියේ මාලු බානවා. අනේ මන්දා.😒

      Delete
  2. පරිඝනක වදන වැරදයි. එය පරිගනක වියයුතුයි.
    පරිඝනකය කියන එක ඕනෙනම් මක්කම තියෙන කාබාව නම් දාගැබට දාගන්න පුළුවන්.

    පරිගනක සම්බන්ධව පුළුවන් තරම් සිංහලෙන් ලියන්න කියහන්න පුරුදුවීම හොඳ දෙයක්.
    ඉස්සර හිටිය සමීර ශාකුන්තල කියලා බ්ලොග්කරුවෙක්. එයා පිරිසිදු සිංහලෙන් පරිගනක තාක්ෂණය ගැන ලිව්වා.
    හීබෘෘ භාෂාව ආරක්ෂා වුනෙත් ඒ විදියටයි.
    ජේසු ඉපදෙනකොටත් හීබෘෘ ආගමික කටයුතු වලට විතරක් සීමාවෙලා තිබුනේ.
    මුල්කාලේ කිතුදහම වැලඳගත් බහුතරය ග්‍රීක් කතාකරපු යුදෙව්වෝ. ඒ නිසා තමයි යේසු කියන නමත් හැදුනේ.
    නියම නම යෙෂුවා. ඒ නම ග්‍රීක් වලින් ලියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්නුවාට ස්තූතියි. තාක්ෂණය අපි හොයාගත්ත දෙයක් නොවන නිසා, ඒවාට පිරිසිදු සිංහල වචන හොය, හොය හිටියොත් බෝට්ටුව යාවි කියලයි මට හිතෙන්නෙ.

      එක්තරා යුගයක, හෙළ හවුලෙන් ඔය වගේ අත්හදා බැලීමක් කලා. අදහස පිරිසිදු වුනත්, සාර්ථක වුනේ නෑ. ඒ අතරේ ගමේ අපිට සිංහල ඉගෙන ගන්න කියලා, කොළඹ පැලැන්තිය ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අන්තිමට ඉංග්‍රීසි(කඩුව) ආයුධයක්/ආභරණයක් වුනා. අදටත් ගම සහ නගරය අතර මේ බෙදීම තියනවා.

      තාක්ෂණය/ අන්තර්ජාලය නිසා, අද දැණුම නිදහස්ව, නොමිලේ ලැබෙනවා.ඒත්, ඒ සඳහා ඉංග්‍රීසි දැණුම අවශ්‍යයි. ඉංග්‍රීසි තමයි විශ්ව භාෂාව, ඒක වෙනස් වෙන්නේ නෑ. ඔබ වගේම මමත් සිංහල වලට ලැදියි, ඒත් ඒ නිසාම, අපි යථාර්තය අමතක කල යුතුද? ඕනෙවට වඩා පිරිසිදු සිංහල පස්සෙ දුවන්න ගියොත්, සමහර විට, වඩා වැදගත් ඉලක්කය (දැණුම සෙවීම) මඟහැරෙන්න ඉඩ තියනවා.

      http://w3lanka.blogspot.com/2022/01/blog-post_91.html

      Delete
    2. පරිගණක නොවැද නියම හෙළ වදන.

      Delete
    3. කොහේ හරි සඤ්ඤක/මූර්ධජ/මහප්‍රාණ අකුරක් තිබ්බා වගේ මතකයි. හැලපෙ, බුරාට එහෙම මල පනිනවා, සිංහල වැරැද්දුවාම.😂

      ඒත් මේ හෙළ බසින් වැනිල්ල නම්, මට ටිකා...ක් විතර අවුල්. ඒ එක්කම, ඒක දේශපාලනය/ ගෝත්‍රවාදය වගේ වැරදි පාරවල්වල යන, සම්භාව්‍යතාවයකුත් මම දකිනවා. වැරදි වෙන්නත් ඇහැකි, ඒත් මට හිතෙන්නෙ භාෂාවක් පෝෂණය වෙන්න ඉඩදිය යුතුබවයි. අද අපි භාවිතා කරන්නේ "ජයතිස්ස සහ රොස්ලින්" යුගයේ සිංහල නෙමෙයි නෙව?

      Delete
    4. ඉංග්‍රීසි භාෂාවට ලංකාව තුල ඉහල බලයක් ලැබෙන්න හේතු 3ක් තියෙනවා.
      1.ඉංග්‍රීසි ජාත්‍යන්තර භාශාවක් වීම.
      2. ඉංග්‍රීසි හරහා පන්ති භේදයක් පවත්වා ගැනීම.
      (මේකට හොඳම උදාහරණයක් තමයි බටහිර සංගීතය ඉංග්‍රීසි මාධ්‍යෙයන් ඉගැන්වීම.
      බටහිර සංගීතයට ඉංග්‍රීසි මොකටද? එහෙනම් හින්දුස්ථානි සංගීතය හින්දියෙන් ඉගැන්විය යුතුයි)

      ඔය කාරණා දෙක ගැන නම් ඕනෙ තරම් කියලා තියෙනවා. තුන්වැනි කාරණය කවුරුවත් කියන්නේ නෑ.
      3. දෙමළ ජාතිවාදය.
      අද තියෙන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය මහදැනමුත්තා එළුවගේ බෙල්ලත් කපලා මුට්ටියත් බින්දා වගේ එකක්.
      ඒකට නම් මම හිතන විදියට හොඳම විසඳුම ජනමත විචාරණයක් තියලා.
      දෙමළ භාශාව නැතුව ජීවත් වෙන්න බෑ කියලා නැහෙන එවුන් වෙන්කරගෙන උන්ට ජනගහන අනුපාතයට ඉඩම් කෑල්ලක් වෙන්කරලා. ඒකේ උන්ව පදිංචි කරවලා. ඒක ඉන්දියාවට බාරදීමයි.

      ඉතිරි කොටසට චීන්නු මිලියනයක් විතර ගෙනැල්ලා පදිංචි කරවාගත යුතුයි.
      එතකොට ටික කාලයක් ගියාම සිංහල චීන මැලේ ලන්සි වැදි ජනතාව එකට ඇනිලා නියම ශ්‍රී ලාංකික ජාතියක් හැදෙයි. උන් හැමෝටම සිංහල පුළුවන් වෙයි.


      පරිගනක තාක්ෂණය සඳහා ඉංග්‍රීසි අවශ්‍යයි තමා. ඒ වගේම සිංහල මිනිස්සු එකිනෙකා සමඟ පරිගනක ගැන කතාකරද්දී පුළුවන් තරම් සිංහලනේ කතා කිරීම සිංහල භාෂාවට හොඳයි. පුරුදු වුනාම ඒක එච්චර අමාරු නෑ.
      එතනදී ගැරේජ් බාස්ලා කතාකරන උප භාෂාව වගේ එකක් හදා ගැනීම වැඩිය හොඳයි.

      ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ සේවාවන් වැඩිදියුණු කිරීමත් ඉංග්‍රීසි දැනුමේ අවශ්‍යතාව අඩුකරගන්න ඉදිරියේදී හේතුවෙයි.

      මම ලියපු පරිගනක ලිපිය තේරෙනවද?
      http://anthoniyo-bahijata.blogspot.com/2021/12/blog-post.html

      Delete
    5. බැලුව. තේරුම් ගන්න, අමතර මහන්සියක් ගන්න ඕනෙ. වැඩ දෙකයි.
      අපි පිරිසිදු සිංහල කතා කරලා, අලුත් වචන හදලා, ඔක්කොම පොත් සිංහලට පරිවර්ථනය කරලා, හුදී ජනයාට දැණුම බෙදාදීම "pipe dream" එකක් කියලයි මට නං හිතෙන්නෙ. වැරදි වෙන්නත් ඇහැකි, ඒත් මේ දැනට පේන්න තියෙන සාධක අනුව, මට හිතෙන හැටි.
      ඉංග්‍රිසිය වෛර කලයුතු භාෂාවක් කියල මට හිතෙන්නෙ නෑ. ඒ වෙනුවට කලයුත්තේ, ඉංග්‍රිසි දැණුම වැඩිකර ගැනීමට, විවිධ ඉංග්‍රිසි උච්චාරණ(accent) වලට හුරුවීමට, අනෙක් අය උනන්දු කරවීමයි.

      ඔබ කිව්වා වගේ, මේ සඳහා තාක්ෂණික මෙවලම් වලින් පිටුවහලක් ලබාගත හැකියි. මම මේ ගැන කීප විටක් ලිව්වා.
      https://frozenlazyowl.blogspot.com/2021/09/blog-post_26.html

      ඒත් ජාත්‍යන්තරයේ, සිංහල වලට තියන තැන සෝචනීයයි. MS Edge වල Text to Speech(TTS) බැලුවොත් පේනෙයි, සිංහල නෑ බංගලි භාෂාව තියනවා කියලා. මේ ගැන, සාකච්චාවක් මෙතන තියනවා.

      https://frozenlazyowl.blogspot.com/2021/12/blog-post.html?showComment=1639271470039#c1151939250439343275

      Delete
    6. Sinhala and English, eh?
      Heh, again.

      Delete
    7. චෝදනාවට වරදකරු, ස්වාමීනී (Guilty as charged)

      Delete
    8. "ජයතිස්ස සහ රොස්ලින්" යන්න නොදන්නා පරම්පරාවට:

      පොදු සතුරා කතෝලික ආගම වූ, සිංහල බෞද්ධ පිබිදීමක් ඇති වූ යුගයක, අතිශයින් ජනප්‍රිය වූවා යැයි කියන නවකතාවක් තමයි "වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්". විවාහය වාසනාවන්ත වී ඇත්තේ කතෝලික රොස්ලින් බෞද්ධ ජයතිස්සට පෙම්කල නිසයි . ඌයි.....(Ouch යන්නේ පරිවර්ථනයකි)

      වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින්


      https://www.youtube.com/watch?v=J5s3O_cPDU0
      අපේ ගමේ කම්මල්කරුවා යකඩ රත් කරලා වතුරෙ එබුවට, මෙහෙම කියා දුන්නෙ නෑ.ඉංග්‍රිසි ටිකක් ගොඩදාගත්තොත්, නිදහස් දැණුම් සම්භාරයක දොරටුව විවෘත වෙනවා.ඒක එහෙම නෙමෙයි, කීම නොදැණ හෝ කරන කකුලෙන් ඇදීමක් ලෙසයි මට පේන්නෙ. මම එහෙම කියන්නේ, ඒ කාලෙ ඔහොම කියලා අපිවත් කඩේ ඇරිය නිසයි. වරක් මා දන්නා කාර්‍යාල කාර්‍ය සහයක මහතෙක් කිව්ව දෙයක්, අද වගේ මට මතකයි.

      "අපිට කොහෙද මහත්තයො ඉන්ටනැසනල් කොලීජි, මම කෙල්ලව පල්ලියෙ ඉස්කෝලෙට යැව්වා"

      Delete
    9. Open Source community එකේ මොකද වෙන්නේ කියන එක ගැන පොඩි අදහසක් ගත්තෑකි මේකෙන්:

      https://www.youtube.com/watch?v=OmEbzRp_NGg

      ඒ යන ප්‍රවාහයත් එක්ක එකතු වෙමුද, නැත්නම් පිරිසිදු සිංහල ලිඳේ ඉඳන් පුම්බගෙන ආතල් එකක් ගමුද?

      Delete
    10. ඒ යන ප්‍රවාහයත් එක්ක එකතු වෙමුද, නැත්නම් පිරිසිදු සිංහල ලිඳේ ඉඳන් පුම්බගෙන ආතල් එකක් ගමුද?

      ඉංග්‍රීසි එපා කියන එකයි. සිංහල වැඩක් නෑ කියන එකයි. අන්ත දෙකක්. කල යුත්තේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අතර සිංහල පෝෂණය කිරීමයි. විනෝදාංශයක් හැටියට හරි සිංහල මිනිස්සු සිංහලෙන් පරිගණක තාක්ෂණය ගැන කතා කිරීම වටිනවා. නැතිනම් සිංහල භාෂාව පාලි සංස්කෘත, ලතින් වගේ වෙයි.

      Delete
    11. එකඟයි. එකම වෙනස, සිංහල පෝෂණය කිරීමේ ක්‍රමවේදය ගැන මගේ අදහස වෙනස් වීමයි. පොදු මතය, ඕනෑම දෙයක් පෝෂණය වීමට නම්, විවෘත වෙන්න ඕනෙ, පිටින් එන දේ උකහා ගන්න ඕනෙ කියන එක නේද? සිංහල පිරිසිදු කරන්න, අලුත් වචන හොයන්නම ඕනෙමද? මේ දැන් අපි භාවිතා කරන සිංහල අපිරිසිදුද? පිරිසිදු නොකලොත් සිංහල වඳවෙයිද?

      මේක මගේ අදහස නිසා, වැරදි වෙන්නත් පුළුවනි. සාකච්චාවට විවෘතයි.

      Delete
    12. අප කැමති වුණත් නැති වුණත් සිංහල බස අද වෙද්දී කොච්චර වෙනස් වෙලාද? භාවිතා කරන තාලේ වුණත්...
      ඉස්සර 'පක' කිව්වේ ගෙඩියට. දැන්?
      ගෙඩිය කිව්වේ ඵලයකට. දැන්?

      Delete
  3. // මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්. // ඒ වුනාට හොඳ ලිපියක්. බස්සා ඔපෙරා GX එක දාගත්තට කමක් නැත්ද? වාතයක් වගේ ඇඩ් එන නිශ අයින්කරලා දැම්ම. මොකද හිතන්නේ.
    අර ආශ්චර්යය - අන්තිමට ලියල තියන්නේ - ඒකට මක්රෝන් ව ඈඳල , පුද්ගලික දඬුමොණරය කින් ලුර්දු දේවාලයට වලට යාම ගැන කියන්න ගිහින් ඇනෝ කෙනෙකුගෙන් බැනුනුත් ඇහැව්වා. 😁

    ReplyDelete
    Replies
    1. කාලයක් මම සිංහල බ්ලොග් කියෙව්වෙ ඔපෙරා වලින්. හේතුව, අනිත් බ්‍රවුසර් වලට වඩා හොඳට "ස්පීඩ් ඩයල්" වැඩ කරපු නිසා. දැන් පාවිච්චි කරන්නෙ Vivaldi.මම Windows SandBox වල ඔපෙරා GX ඉන්ස්ටෝල් කරල බැලුවා. ඉන්ස්ටොලේෂන් එකත් එක්කම Ad-Blocker extension එනවා. ඒක enable කරගත්තාම, ඇඩ් කරදරේ නවතීවි. ඔය ඔක්කොම Chrome engine බ්‍රව්සර්. වෙන කියන්න තරම් අවුලක් දැක්කෙ නං නෑ.

      බුරතීනෝ වතාවක් කිව්වා, ඔක්කොම අතැරලා FireFox ගියා කියලා. උන්නැහේ යමක් කරන්නෙ හොඳට හිතලා බලලා, ඒත් ඒක බකුසු මොලේට වැටහුනේ නෑ.

      Delete
    2. බැනුම් ඇහැව්වා කිව්වෙ? ඇනෝ බැන්නෙ අජිත්ටද?🤔

      Delete
    3. අර බැන්නේ , මොනවා කියනවද කියල තේරෙන්නේ නැහැ කියල. මක්රෝනෙක් ගැන කියනවා කියල. ප්‍රයිවෙට් ජෙට් ගැන ඔය කට්ටියට තව ඉගෙන ගන්න වෙනව. FireFox අවුලක් නැහැ, මම ගූගල් ක්‍රෝම් වෙලා ඉන්නේ සිංහලෙන් ටයිප් කරන්න.

      Delete
    4. මෙන්න මේක දාගන්න.
      https://keyman.com/windows/download
      විස්තරේ මෙතන තියනවා.
      https://frozenlazyowl.blogspot.com/2021/06/10.html#more

      සිස්ටම් වයිඩ්, ඕන බ්‍රව්සර් එකක සිංහල ටයිප් කලෑකි.

      Delete
    5. ඔතන ප්‍රශ්නේ මේකයි. ඔහොම ටයිප් කරන්න ඉගෙන ගන්න එපැයි කී බෝඩ් එක . අල් පයන්න , කු යන්න යන්සය හොයන්න් පණ යනවා.

      Delete
    6. නෑ, නෑ එහෙම ඕනෙ නෑ. මේක සිංග්ලිෂ් කී බෝඩ් එක. p=ප් , ku=කු, අල් අකුරකට පස්සෙ ya කෙටුවාම යන්සය ඉබේම එනවා. වින්ඩ්ක් කී+ස්පේස් බාර් එකෙන් ඉංරිසි/සිංහල වලට මාරු වෙන්නත් ඇහැකි. Keyman අයිකන් එක රයිට් ක්ලික් කරාම එන help file එකේ සම්පූර්ණ් කී-මැප් එකම තියනවා.

      Delete
  4. නොතේරෙන දේ වටහ ගන්නත් කියවලා බලපන්න රාළේ
    කියා උපදෙස් වගුරවයි, යටි හිතෙන් මා වෙත ඇතිව ලීලේ
    කියෙව්වෙමි 'ඩම්' දදා කොතෙකුත් දෙපාරක්මත් කකා කාලේ
    දිරව ගන්නට බැරි වුණත් මට, හොඳයි ලියලා තියෙන තාලේ!

    ReplyDelete
    Replies
    1. මේවා වින්ඩෝස්වල තියෙන අමතර, ආරක්ෂක ක්‍රමවේද තුනක්. අර කම්පූටර ඔස්තාද් ආපු වෙලාවක, කියල බලන්න. නිදිගෙ ලැප , සුදුසුකම් සපුරනවා නං, එයා සෙට් කරලා දෙයි.

      වැඩිය හිතන්න දෙයක් නෑ. ඔය ටොරන්ට් බෑම, ටෙස්ට් කිරීම වැනි අන්තරාදායක වැඩ වලට Windows SandBox භාවිතා කල හැකියි. Unsafe sites වලට යනවා නං, Application Guard භාවිතා කල හැකියි. Core Isolation- memory Integrity ඔන් කරගත්තාම, එයාම ඉතුරු ටික කරගන්නවා.

      Delete
  5. ඇත්තටම අපි ඔය වගේ ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න ඕනද?

    (@ ඔය මොකුත් දැන්නැති මම)

    ReplyDelete
    Replies
    1. හැලප ගිලින්න, ටොරන්ට් බාන්න වගේ නරක වැඩ නොකරන අයට අදාල නෑ. වින්ඩෝස් 7 වල virtualization නෑ කියලයි මගෙ මතකය.

      Delete
    2. මොකක්ද හැලප ගිලිනවා කියන්නේ?

      Delete
    3. වගේ වගක් නැතුව, unsafe, shady සයිට් වලට යන එකටයි. හැලප ගිලිනවා කියන්නේ.

      Delete
    4. විසුල කවින්‍ද මැතිඳු වෙත සාදරයෙනි,
      "මොකක්ද හැලප ගිලිනවා කියන්නේ?"
      මැතිතුමනි පවසනු හෙළුවෙන්ම "මිතුර, හැලප ගිලිනවා යනු කිම?" වැනි අප වැන්නන්ටත් වැටහෙන බසකින්.

      විසුල කවින්‍ද මැතිඳුට ජයවේවා!
      Myself Hattor

      Delete
    5. අයිස්මොලෙ අතුලයා, ලියල තිබුනා, එයැයිට "හිච්චි අයියා" කියන එක නවත්තන්න වුනා කියලා කොළඹදි. මක්කැයි කොරන්නෙ නේද?

      https://icemola.blogspot.com/2022/01/aj.html

      Delete
    6. Myself Hattor, මගේ වෑයම විහිළුවට ලක්කිරීම වැරදියි
      කුමාරතුංග මුණිදාස පොලොන්නරු යුගයේ බාශාව පාවිච්චි කලේ එම බාෂාව සංස්කෘත වචන ගෙඩි පිටින් පාවිච්චියට ගැනීම පටන්ගන්න පෙර තිබුණු දියුණුම සිංහල බස විම නිසයි.

      නමුත් අපි ඒ බසම කතා කරන්න අවශ්‍ය නෑ. මේ කාලේ භාෂාවට අළුත් වචන හදද්දී පුළුවන් විදියට හෙල වදන්ම යොදා ගත්තාම ඇති.
      උදාහරණයක් විදියට ක්‍රිකට් විස්තර විචාරයේදී අළුත් සිංහල වචන පාවිච්චිවෙනවා. දැන් කවුරුවත් ඒ වචන තේරෙන්නේ නෑ කියලා කියන්නේ නෑ. නමුත් ඉස්සර එව්වා ගැන විහිළු කලා
      දැවී යනවා කියන්නේ මොකක්ද? කියලා විහිළු කල අය හිටියා.
      නමුත් සමහර සිංහල වචන ඉංග්‍රීසි වචන වලට වඩා නිවැරදියි.
      නිපන්දු, නිලකුණු පන්දුවාර, තරඟයේ වීරයා (ඉංග්‍රීසියෙන් කියන්නේ තරඟයේ පිරිමියා කියලා)

      මේකත් ඒ වගේ තමයි, මේ වනකොට පරිගනක හැම තැනම පාවිච්චි වෙන නිසා ඒ ගැන සරල සිංහල වාග් කෝෂයක් හැදිය යුතුයි.

      Delete
    7. හැට්ටර් මේ පැත්තෙ ආයෙ එන්නෙ, ඊළඟ කන්නයට තමා.😂

      ඉස්සෙල්ලම කියන්න ඕනෙ, අපි කියන ඒවා එච්චර සීරියස් ගණන් ගන්න එපා කියලයි. ඒත්, ඔබට සිත්තැවුලක් වුනා නම් සමාවෙන්න.

      මට යම් තරමක් දුරට ඔබ කියන දේ වැටහෙනවා. ඒ වගේම, ඔබේ වෑයම පිරිසිදුයි කියා සිතෙන නිසා, එය අගය කරනවා. නමුත්, ඒ වෑයමෙන් හුදීයනයාට වන සුගතියක් නම් මට පෙන්නෙ නෑ.

      මම එකඟ නොවන දේ:

      //නමුත් සමහර සිංහල වචන ඉංග්‍රීසි වචන වලට වඩා නිවැරදියි// ඇත්ත, හැබැයි සමහර සිංහල වචන අප්‍රබංස නිසා(සර්වලෝක පූට්ටුව), ඒ තර්කයෙන් එතරම් වාසියක් වෙන්නෙ නෑ. මම දන්න තරමින්,
      ඉංග්‍රීසිත්, සිංහල වගේම ලස්සන භාෂාවක්.

      හෙළ හවුලේ හිටියේ, භාෂා ඥාණය අතින් ඉහළම උගතුන්. ඔවුන්ගේ වෑයම, හුදීජනයා අතරට ගියේ නැත්තේ ඇයි? කිසිම දෙයක් බලෙන් පුරුදු කරවන්න බැරි නිසාද? භාෂාව හැමදාම වෙනස් වෙමින්, පෝෂණය වෙනවා. ඔය ඔබ කිව්ව කිරිකැත් කෙලියේ වගේ ගැලෙපෙන වචන, නවතිනවා, අනිත් විසුළු වදන් හැලෙනවා. මම කැමැතියි ඒ වෙනස්වීම නිරීක්ෂණය කරන්න. ඒ අතරේ මගේ කාළය, දන්නා දෙයක්, මේ දන්න භාෂාවෙන් බෙදාගන්නයි, මගේ කැමැත්ත.

      Delete
  6. මේ පැත්තටත් ආවනම්...
    https://devlindi.blogspot.com/2022/01/187.html

    ReplyDelete
  7. මේ ඩ්‍කියට මොක වෙලා තියෙන්නෙ. පෙන්ටවත් නෑ මේ ටික දොහේ..

    ReplyDelete
    Replies
    1. අල හිටෝනව ඇති. නැහ්නං හිටෝපු කිරිඅල ගලෝනවා ඇති. දෙකම බිසී වැඩ නෙව?🤣

      Delete
    2. හ්ම්.. හ්ම්.. මේ මහේසයත් මොනා කොරන්වද මන්ද. පෙන්ට නැති හැටි. මේ හිටිය මේ නෑ

      Delete
    3. මං හිතන්නෙ ඕක හීතලට ගල් වෙලා ඇති. එක්කො ගල් වෙච්ච උංගෙ ලේ බොන්න බැරුව හාමත් වෙලා ඇති.

      Delete
    4. මාත් හිතුවෙ ඇරපු කට, වහගන්න බැරිවෙන්නම ගල් වෙලයි කියලා. අර පහලින් ඇවිත් ගියේ.😊

      Delete
  8. පුම්ක එළියෙ පසබරා වග නම් - අපට එහෙම අරියාදු කිරීම නොහොබී බස්පා. පිටතැනක ගියාම අපේ වංහුන් වහන්න ගන්ට වෑයමට කවිගී ලියවුනා මදී..

    ReplyDelete
    Replies
    1. වංහුන් වහන ක්‍රම ගැන කියන්න නම් ඇහැකි. ඒත් ඒවා ප්‍රමෝට් කරන එක නරක දෙයක් කියල හිතෙනවා. Deep Web/ Dark Web කියන අන්තර්ජාලයේ අඳුරු පැත්තත් ඔව්වා එක්ක සම්බන්ධ වෙනවා.

      https://www.gaelgordonblog.com/wp-content/uploads/sites/184/2020/04/rabbit-hole-1-copy.jpg

      Delete
    2. ඔව් ඔව් ඒකනම් ඇත්ත බස්සා. මෙහෙම දැනුවත් කරන එක ලොකු දෙයක්.

      Delete
  9. තව ටික දොහකින් - ලැබිච්ච ඩොලර් බිලියන එකහමාරට වෙච්ච සන්තැසියත් රහසක්

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් දවසේ කියමන නමියො. දාහං පහක්.👌😊

      Delete
    2. 👌 ඕන්ට සන්ටයිසර් කරගෙනම එව්වා.

      Delete
  10. මේ කියනකං එච්චර ඒ ගැන හිතුනේ නෑ. දැනුවත් කිරීමට ස්තූතියි බස්සා

    ReplyDelete
  11. කොහොමද මෙහෙම ලියන්නෙ?
    මොකක්ද මෙ අවකාසේ..?
    FB වගේ එකක් ද?
    අහම්බෙන් කඩන් වැටුනෙ..
    බස්සන්ට ලියන්න පුළුවන් ද?
    මොකක්ද පුම්ක කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලිව්වා නෙමෙයි ලියවෙව්වා.
      මේක කාලයක් හොඳට වැජඹුන අවකාසයක් තමයි. පස්සෙ කෝඩෙ ගැහැව්වා.
      FB? ඒව් මොකක්ද? FBI වගේ එකක්ද?
      බස්සොන්ට ලියන්න බෑ, කොටන්න නං ඇහැකි. ඔලුවට කොටන කොන්තරාත් එහෙමත් බාර ගන්නවා.
      පුම්ක අවුල් නං, පස්සා පැත්ත කියල දාගන්ට. කුණුහරපයක් නෙමෙයි කියල කකා තමයි කිව්වෙ.

      Delete
  12. සෑන් බොක්ස් !!
    ඔහෙටත් ඉතින් 'සෑන' මතක් නොකර කිසි වැඩක් කොරන්ඩ බැරි හැටි.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අම්මපා, මට ඒක නිච්චියක් නැතුව ගියා නෙව? කාලෙකින් හැට්ටර් දැක්ක එකත් සතුටක්.

      Delete
  13. https://www.aliexpress.com/item/1005003152635291.html?spm=a2g0o.detail.1000014.3.6ccc3f459u7PIw&gps-id=pcDetailBottomMoreOtherSeller&scm=1007.13338.255040.0&scm_id=1007.13338.255040.0&scm-url=1007.13338.255040.0&pvid=e0eece84-d68e-4948-a8b6-3a07a813573d&_t=gps-id:pcDetailBottomMoreOtherSeller,scm-url:1007.13338.255040.0,pvid:e0eece84-d68e-4948-a8b6-3a07a813573d,tpp_buckets:668%232846%238107%231934&&pdp_ext_f=%7B%22sceneId%22:%2223416%22,%22sku_id%22:%2212000024382227984%22%7D&compareFields=formatted_price:LKR%201,626.66;itemId:1005003152635291;freight_formatted_price:null;source:recommend-sku;is_freeshipping:null;trade_order:38

    මෙම ගැජට්ටුව ගෙන්වාගන්න කීයක් වියදම් වෙයිද? සැඟවුනු ගාස්තු තිබේද? ප්‍රවාහන වියදම අවම කරගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නං, ඒ ගාණට නොවටිනා බවයි. චීනෙන් ලැබෙන වටිනාම දේ, අඩුම බරක් සහිත electronic components බව මගේ නිරීක්ෂණයයි. බරත්, පරිමාවත් වැඩි වීමෙන් ගාස්තුව ඉහල යනවා.

      පරණ සර්වර් කම්පියුටර් කේස් වල, ඔවැනි Hard Drive Cage තිබෙන බව දැක තියනවා. පරණ බඩු කඩවල බැලුවොත් නරකද?

      මෙන්න මේ ඩබල්-ෂොට් කී-කැප්ස් සෙට් එකේ ගාණ එක්ක සසඳුවොත් පෙනේවි, ඩිස්ක් කූඩුව ඒ ගාණට නොවටිනා බව.

      ඩබල්-ෂොට් කී-කැප්ස්

      අයිටම් එකේ ගාණ අඩුවෙන් දාලා, ඒ වගේ කීප ගුණයක ෂිපින් දාන එක Aliexpress සමගර් වෙළෙන්ඳො කරන උපක්‍රමයක්. ඔය කූඩුවම, මෙහාට ප්‍රී ෂිපින් හැබැයි ගාණ එකමයි. කොහෙන් කැපුවත් රාත්තලම තමා.

      Delete
    2. ලාබ බඩුවේ හිලක් කියනවනේ.
      මමත් පරණ බඩු කඩවල බැලුවා ඒ හැම කෑල්ලකම මොකක්හරි කොස්සක්.

      අලිඑක්ස්ප්‍රස් එකෙන් අඩු මිලට බඩු ගෙන්වලා දෙන කෙනෙක් නැද්ද හැබෑටම.

      Delete
    3. හරියටම හරියන කූඩුවක්, කොහොමත් ලැබෙන එකක් නෑ, ඒ නිසා, මේ වගේ වැඩවලට, පොඩ්ඩක් අටවන-මාටිං(DIY) ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා.

      මගේ කේස් එකත් එක්කම ආපු කූඩුව, ඔය චීන එකට වඩා හොඳයි. හාඩ්-ඩිස්ක් එක ප්ලාස්ටික් ට්‍රේ එකකට, ලොක් වෙන්නම හයි වෙලා, ඒක තමයි කූඩුවේ අදාල ස්ලොට් එකට ස්ලයිඩ් වෙන්නෙ. එහෙම වෙලත්, natural resonance frequency සිද්ධාන්තයට අහුවෙලා, පරණ සීටීබී බස් එකක් වගේ දෙදරන්න ගත්තා, වින්ඩෝස් වලින් හාඩ්-ඩිස්ක් ඉන්ඩෙක්සින් කරන කොට. පස්සෙ rubber stopper feet අලවලා හිරකරල, තමයි හදාගත්තෙ.

      DIY වලට ඕනකරන අඩුම-කුඩුම නං, අලිඑක්ස්ප්‍රස් එකේ ලාබයි. මගේ කේස් එකම, ඔය කූඩුවට වඩා ලාබෙට ගත්ත නිසයි, චීන කූඩුවෙ ගාණ වටින්නෙ නෑ කිව්වෙ.

      Delete
  14. දෙවෙනි සෙමෙස්ටරේ නිසා කිසිම දෙයක් කියවන්නත් ලියන්නත් බැරි වීම ගැන වෙරි සොරිය ප්‍රකාශ කොර සිටිනාතර, හැකි හැකි පමණිං එබිකං කොර යාමට උත්සාහ ගන්නා බව ගරු ගාම්භීරව දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ. අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි පතනවා.

      Delete
    2. ඔව් ඔව් ඒවා සර්පකාරයෙන්ම සාර්ථක මන්ද කොරන් ඉක්මන මේ පොජ්ජට මංගැච්චුවනම් ගරු ගාම්බීරවම...

      Delete

  15. සිංහල භාෂාවට එකතුවූ අළුත්ම අකුර

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නෑ. ඒකෙන් එන්නෙ මොන ශබ්දයද?
      කොටුවක් මිසත් වෙන යමක් පේන්න නෑ. දැනට තියෙන සිංහල යුනිකෝඩ්වල නැති අකුරක් පාටයි.

      අුලුත් සිංහල අකුරු හොයන්න ගියාම, මෙන්න මේ ලිපිය හම්බවුනා.

      http://bultokade.blogspot.com/2012/04/blog-post_7812.html

      Delete
    2. මමත් අද දැක්කේ
      චන්ද්‍ර බන්දුව තමයි නම.
      ඕක ඉන්දියානු භාෂා කීපයක ඔය පිල්ලම තියෙනවා.
      මම හිතන්නේ සඤ්ඤක ශබ්දය ඇතිකරන පිල්ලම.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code