Aug 10, 2014

කතන්දර කියන බස්සෙක් හා නරියෙක්


ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ  පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.

මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:

" බස්ස, බස්ස"

හෑ, කව්ද මේ කැලේ මට  ගරුනම්බු නැතුව  මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා?  මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.

"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ  නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං  නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"

" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"



" හරි, හරි, මට පොඩ්ඩක් බ්ලොග් කට්ට මඟෑරුනා නං  තමයි. ඒත් මං අර පහුගිය දොහක එහේ ගිහින් මකුලු දැල් කඩලා ආව නෙව,නරිමොටෝ?"

" හහ්, මකුලු දැල් කැඩුව? අනේ මයෙ  කට? එහෙම හරියනවද? අර වෙනදා වගේ හරි හමං කතාවක් දෙකක් ලියන්නෙ නැතිව?"

" හරි දැං උඹ ඔය කියන්නෙ , මට කතාවක් ලියන්න කියල නෙව? කතා දෙකක් විතර හිතේ නං තියේ, එකක් මේ සත්‍ය ප්‍රේමෙ ගැන කතාවක්"

" හහ් , සත්‍ය ප්‍රේමෙ??? ඇයි බොල බස්සො, උඹේ ඔය ශ්‍රී මුඛයෙන්ම නේද කිව්වෙ " අතත්‍ය වු ඉස්තිරී චින්තනයේ සත්‍ය පේරේමයක් උපදී නං, පුත්තලමේද ගෝවා වගා කල හැක " කියලා?"

" සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට, සත්‍ය ප්‍රේමෙ කියල එකක් තියනවා, අඩු ගානෙ තිබිල තියනවා.  වැඩි ඇතක නෙමෙයි අපේ ගමේ - දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට ආපු  සුද්දෙකුයි, අපේ ගමේ ගැටිස්සියකුයි අතර. මේක ඇත්තම ඇත්ත කතාවක්"

"හා, එහෙනං කියාපංකො කතාව" කියලා  කැනහිලා, වට දෙකක් කැරකිලා හොඳට තප්පලං ගැහිලා වාඩිවුනා.


----------------------------------------------------

මේක මං පැටියා කාලෙ අහපු කතාවක්, ඒ කාලෙ  මට ලව්-උලව් ගැන මෙලෝ අල බෝලයක්  නොතේරිච්ච නිසා මං හාරා අවුස්සන්න ගියේ නෑ, ඒත් කතාවෙ සාරංශය නං අද වගේ මතකයි.

කාළය : දෙවැනි ලෝක සංග්‍රාමය සමය. ලංකාව  එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ලෝකෙ නං දෙසින් "හිරු නොබසින අධිරාජ්‍යයේ" රාජකීය හමුදාවට සෙබලු බඳවා ගත්තා. සිදාදියේ ඉගෙනගත්ත , ඉංග්‍රිසි බස උගත් සමහර සිංහල තරුණයන්ද ඒසමයෙහි රාජකීය හමුදාවට බැඳී රට, රට වලට  ගිය බව මා අසා තියෙනවා. නමුත් ඒ සොල්දාදුවන්ගේ  රසකතා, අත්දැකීම් හරි හැටි ලේඛනගත වුන බවක් සඳහන් වෙන්නේ නැති එක  අවාසනාවක්.

එම්.එස් ප්‍රනාන්දු මහතා ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි පිටරට ගිය සිංහල සොල්දාදුවෙකුත්, මැක්සිකන් තරුණියක් අතර පෙම් කතාවක් ගැන වුවත්, එය සත්‍ය සිද්ධියක් පදනම් වුනා දැයි කියන්න දන්නෙ නෑ.

කොහොම හරි  ඔය කියන කාලෙ අපේ ගමට ආව එක සොල්දාදුවන් කණ්ඩායමක් අතර , මේ අපේ කතාවෙ සුද්දත් ඉඳලා තියනවා. සුද්දා ගමට ආවෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. බාග වෙලාවට හැලප කන්ට වෙන්ට ඇති. මේකා සුද්ද නිසා තම්බපු ඉස්සා වගේ පොත්ත රතුවට ලස්සනට ඉන්න නං ඇති.

අපේ ගමේ ගැටිස්සිගෙ මල් හී පාර සුද්දට සැරටම වැදිල තියෙනවා. සුද්දා ඩවුන්, යුද්දෙ ඉවරවෙලා ගමරට යනවා වෙනුවට  සුද්දා අපේ ගමේ බින්න බැස්සා. ගමේ කරුමාන්ත ගැන කිසිම නිනව්වක් නැති  අසරණ සුද්දා , ජීවත් වෙලා තියෙන්නෙ සෑහෙන අගහිඟකම් මැද්දෙ. අන්තිමට   බඩ රස්සාවට ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි  ජීවත්වෙලා තියෙන්නෙ. මේ දෙපලගේ දරුවන් හොඳින් ඉගෙනගත් බවත් , පසුව සියලුදෙනා ඔට්ටේලියාවට සංක්‍රමණය වුනබවත් තමයි කියවෙන්නෙ.සමහරවිට අද ඔට්ටේලියාවෙ ඉන්න අපේ අයගෙ යාළුවන් අතර මේ අයගෙන් පැවත එන්නනුන් ඇති.

ඉංග්‍රිසියත්, සුදු හමත් ඇත්නම් එය අමතර වාසියක් වෙන අද කාලෙ  ගැන සලකන විට වුනත්, ඒ කාලෙ  අපේ සුද්දා ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒකයි, ඔහු හැමදාම මගේ ලෝකයේ සැබෑ වීරයෙක් වෙන්නෙ. 


කතාව ඉවර කරලා මම නරිමොටා දිහා බැලුවා. නෙදකින්, මේ අසමජ්ජාති කැනහිලා ගොරෝ, ගොරෝ බුදි නෙව?

34 comments:

  1. ඈ බං, බඩ රස්සාවට ගස් යනවා ඇරෙන්ට වෙන කිසිම දෙයක් ඔය සුද්දට හොයාගන්ට බැරිවුනාද? අනික මේ සුද්දගෙ කාලෙ.

    ReplyDelete
    Replies
    1. කතාව විස්වාස කරන්න අමාරු වගේ පෙනුනට එහෙම තමයි වෙලා තියෙන්නෙ. සමහරවිට මේ ගමේ දුප්පත් කෙල්ලව බැන්ද නිසා එයාව සමාජයෙන් කොන් වෙන්න ඇති.

      Delete
    2. පොර ටවුමට ගියා නං සෙකුරිටි වැඩක්වත් අල්ල ගන්න තිබුණා!

      Delete
    3. මේ කියන වකවානුවෙ සැකුරිටි වැඩ , දැන් වගේ තිබුනෙ නෑ නේද? රාත්‍රී මුරකරු කියල එකක් නං තියෙන්නෙ ඇති, ඒත් හැමතැනම නෙමෙයි. ඇයි සුදු මහත්තයා අතුරෙ රස්සාව ‍තෝරගත්තෙ කියන්න දන්නෙ නෑ කකා. ඒ ගැන දැණගන්න තිබුණ අයත් අද නෑ.

      Delete
    4. ගස් යන එක විස්වාස කරයි කියමු (පොල් කඩන්න වගේ) ඒත් //ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි ජීවත්වෙලා තියෙන්නෙ// ??
      ගස් මැදල පැණි හදන එක ඔය සමහර බස්සො වෙස්ටේරොස් වල පැණි හලනව වගේ ලේසි දෙයක් නෙමෙයි නේද?

      Delete
    5. සමහර විට කෙල්ලෙගෙ පැත්තෙ, නෑඳෑ මදින්නෙක් ඉන්න ඇති. එයා ඉගෙන ගත්ත කෙනෙක්, අපේ ගමේ පැ‍රැන්නො එයාගෙන් පැණි අරගෙන තියෙනවා.

      ට්රූ ඉස්ටෝරි. බොරුවක් නං ඔය අහල පහල ගහක ඉන්න කොට්ටෝරුවෙකුට හෙන ගහන්න ඕනෙ

      Delete
    6. හොඳ පැණි ටිකක් තියේනං මටත් අරං තියහන් හැලප හදන්න.

      Delete
    7. හැලපෙ, පැණි හොඳම එක ඕනෙනං , වෙස්ටරෝස් පැත්තෙ යන්ට වෙයි. හප්පා එහෙමත් පැණියක්, බාන්නෙ බැරල් වලින් :)

      Delete
  2. ඔය කතාව පත්තරෙත් ගියා පින්තූරත් එක්ක මගෙ හිතේ
    උදේට ගම වටේ ගිහින් පොල් කඩල එනව කියලයි තිබ්බේ මතක හැටියට

    පුත්තලමේ දැන් බෝංචි, වට්ටක්ක්කා හා ගෝවා සාර්ථකව වගා කෙරේ
    මුලිං පටන්ගත්තේ නොරොච්චෝලෙ ඉඩම ගොවිබිමක් බව පෙන්වන්න
    කොහොමෙං හරි ඒකෙං කර්මාන්තෙ අහුවුණා
    අනෙක් එකත් වෙනස් වෙලා ඇති!

    ReplyDelete
    Replies
    1. හුටා :)
      ඒ කියන්නෙ දැං අපිට " ...නං, නුවර එලියේද රටඉඳි වගාකල හැක" කියන්න වෙයිද?

      මං දැනගෙන හිටියෙ නෑ, මේ කතාව පත්තරේ ගිය වග. චෑහ්, මට ඒක මිස්වුනා නෙව?

      Delete
  3. පැණි බෙදනවා කියන්නේ කොච්චර හොඳ රස්සාවක්ද? :)

    කෝ මම කොච්චර කීවත් සත්‍ය ප්‍රේමේ තාමත් දකින්ට ලැබෙනවා කියලා මේ බස්සා විස්වාස කරන්නේ නෑනේ.

    පේනවනේ සුද්දොන්ගේ ආදරේ? මේ කතාව සම්පූර්ණ ඇත්ත වෙන්ට ඕනි. සමහර විට එයා හමුදාවේ ඉන්න කාලේ හොරෙන් කුරුම්බා කඩන්ටත් ඇති. :D

    ReplyDelete
    Replies
    1. පැණි බෙදනවා කියන්නෙ හොඳ රස්සාවක් වගේම, ගස්බඩගෑම කියන්නෙත් ඉහල යන රස්සාවක් නෙව? දැං නං මට තේරෙනවා ඇයි සුදු මහත්තයා මේ රස්සාවම ‍තෝරගත්තෙ කියලා :)

      හැබැයි "පෙරේමෙ" නං මලා. පිටෝ‍ටුවෙ බෝම්බෙට අහුවුනා නෙව?

      Delete
    2. හැබෑටම පොඩ්ඩිට දිවියඥානෙ තියෙනවද මංදා මගේ හිතේ තිබුණ එකම ලියන්න.හමුදාවෙ හිටිය උන් හොර කුරුම්බා කඩපු කතාවක් මගේ ලඟත් තියෙනව අද ඊයෙ නෙවෙයි දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ.ලියන්නං කියල හිතාගෙන හිටියෙ.

      Delete
    3. එයැයිට ඔන්න ඔහොම පරචිත්ත ඥානයක් තියනවැයි කියන්නෙ :)
      හා, එහෙමං අපට හොර කුරුම්බා කතාවත් ලඟදි ඇහියෑකි

      Delete
  4. ගස් නැගල හරි කෙල්ලව බලා ගත්ත සුද්ද ගැන නම් කතා කරල වැඩක් නැහැ. දැක්කද සත්‍ය ප්‍රේමෙ කොච්චර බලවත්ද කියල.

    ReplyDelete
    Replies
    1. //සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට//

      Sasquatchල එක්ක ඉන්න කාලෙ එහෙම වුනාට දැන් DGMB වෙස්ටේරොස්වල most eligible visitor නිසා එහෙම වෙන එකක් නෑ.

      මේ පෝස්ට් එකම අහිංසක බස්සගෙ ගොදුරු සඳහා ඇමක් වෙන්නත් පුලුවන්

      Delete
    2. මොකක්දෑ මේ "වස්ටෙරොස්" කියන්නෙ?

      මේ ගොදුරු සොයන බස්සෙක්ද, හප්පේ :-(

      Delete
    3. ' "වෙස්ටෙරොස්" කියන්නෙ මොකක්ද ඇහැව්වා? හපොයි දෙයියනේ බුරාට මේක ඇහුන නං සියදිවි නසා ගන්නවා.

      සෑර් , "වෙස්ටරෝස්" තියන්නෙ, බ්ලොග් ලොව දික්විජය කල සදාතනික කමෙන්ට්කරුවානන් (හිටපු) වු ඒ කෙළෙඹිපුත්‍රයාගේ බ්ලොග් එකේ

      ගොදුරු? අපොයි නෑ, මං වැජිටේරියන් බස්සෙක්:

      Owl & Mouse

      Delete
    4. හෙහ් හෙහ් දැන් වෙස්ටෙරොස් වීසා නිකුත් කරන්නෙත් දික් පලල් ඔක්කොම විජය කල අවුල්සහගතයානෝ

      Delete
    5. හුටා! තව පොඩ්ඩෙන් මිස් වෙනවා :(

      @ සොන්යා

      ප්රේමෙ නං බලවත් තමා, ඒත් අර බයිසිකල් කට්ට තල්ලු කරන් ආපු බාබු ඊට වඩා බලවත් වුනා නෙව

      @Pra Jay

      හපොයි අර සිංදුවක් දෙකක් කියාගෙන , දෙයියනේ කියල සැහැල්ලුවෙන් ඉන්න දොඩංගොඩ මහතැන්වත් කොන්‍ෆියුසියස් කලා නේද? :)

      වීසාද මන්දා? මං මේ අහපු පුරස්නෙට උත්තර බැන්දා , එච්චරයි :)

      Delete
    6. කෙළෙඹිපුත්‍රයා කියන්නේ මොකක්ද හරියටම? තරුණ පිරිමි දරුවෙක් කියන්නද?

      Delete
    7. බුදුන් දවසනම් කෙළෙඹි කුලය කියලා එකක් තිබුනා. ඒ කුලයේ ඉපදුන පිරිමින්ට වෙන්ටෑ කෙළෙඹි පුත් කියන්ට ඇත්තෙ. දැන්නම් ඉතිං ඕක කෝකටත් තෛලය වගේ වහරනවා. තරුණ පිරිමි දරුවෙක්, කුල පුත්‍රයෙක් කියන්ට තමා භාවිත වෙන්නෙ.

      Delete
  5. හී හී :D නිතරම සේර් බස්තියං ගේ කතා කියෙව්වට අද තමයි comment කලේ .... :D :P මකුළු දැල් බැඳෙන්න දෙන්න එපා ආයෙමත් නම් ............ :D :D

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් බැඳීගෙන එනකොට ආයෙ එඤ්ඤං :)

      Delete
  6. අඩේ සුද්දා මාරයිනේ බං.. මම අදමයි මේ කතාව ඇහුවේ.. එල..

    ReplyDelete
    Replies
    1. සුද්දා නං මාරයි තමා. ඒත්,මෙච්චර දෙයක් කරන්න, අපේ ගමේ කෙල්ලගෙත් මොකක් හරි විශේෂත්වයක් දකින්න ඇති නේද?

      Delete
    2. ගමේ කෙල්ලත් අර 'මාජරින්' වගේ හොට්ම හොට් ද දන්නෙ නෑ නෙවැ.. ;-)

      Delete
    3. හොට්ද කියල අහනවා, ස්මෝකින් හොට් :)

      Delete
  7. සුද්දා නම් " අර" මැල්ලුම කාලා වගේ (දන්නවා නේද සීන් එක ) .. ? මිස්ටර් D.G.M. පස්සේ එන්ඥඥාන් හොඳේ , පොඩ්ඩක් බිසී .

    ReplyDelete
    Replies
    1. ආපු එකම මදෑ, ඉවාන් , වැඩ අස්සෙ. මැල්ලුම් කතාව නං අහල නෑ

      Delete
  8. බස්සාගේ පාට වෙනස් වෙලා ඇඳුම මාරු වෙලා වැඩ ගොඩයිනේ.
    දොරකඩගහේ මූකලන් බස්සෙක් එන්මෙයි වගේ දැන් නම්...

    ReplyDelete
    Replies
    1. මං කාලෙකට පස්සෙ ආව නෙව බ්ලොගේ මකුලු දැල් කඩන්න. ඒ ආපු ගමන් ඔන්න ඔහේ ඇඳුමත් මාරුකරලම දැම්මා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code