May 16, 2015

අනවශ්‍ය මහප්ප්‍රාණ සහ දෙවියනි ඔබ බුදිද?

ඉස්සර මං නැවතිලා හිටිය ගෙදරක ගෑල්ලමයෙක් උන්නා. හප්පා , නියම ක‍ටු අත්තක් තමා එයා නං. මෙයා දවසක් මට මෙහෙම කිව්වා:

"බකුස් අයියෙ, ඔයා හම්බකරන්න දන්නවා වුනාට, වියදම් කරන්න දන්නෙ නෑ"

උන්දැගෙ අවාසනාවටද, මයෙ වාසනාවටද මන්දා , "වියදම් කරන හැටි" පාඩම් මාලාවක් කරන්න එයාට චෑන්ස් එකක් ලැබුනෙ නෑ. නැහ්නං අනිවා ඩෙෆා උන්දෑ මාව උගස් තියනවා.

බස්සා අරපිරිමැස්මෙන්  ජීවත් වෙන සතා. ඒ කිව්වෙ., අනුන්ට ණය නොවී, හම්බ කරන දෙයින් ටිකක් වැහි කාලෙකට ගන්න ඉතුරු කර ගන්නවා.මේ බකුසු ලයිෆ් ඉස්ටැයිල් එක අල්ලන්නෙ නෑ පළගැටියොන්ට. ඉතිං උන් ඇනුම්පද කියනවා

" ඇයි බං ඔච්චර හම්බ කරන්නෙ , යන කොට ගෙනියන්නද?"
" මේ අපි වගේ අඩියක්-පුඩියක් ගහල මනුස්පයෙක් වගේ හිටහංකො" 
" අපිටත් ඔයවගේ හම්බවෙනව නං , අපි දනී  ජීවත්වෙන හැටි?"

ඒක නං මටත් හිතා ගත්තෑකි. කොච්චර හම්බ වුනත් මාසෙ අන්තිම වෙන කොට යන්නෙ රිම් එකෙන් නෙව? දැනුත් එහෙමයි, වැඩිය හම්බ වුනත් එහෙමම තමා.


මං නං ඇත්තටම දැන්නෙ නෑ, මාත් එක්ක නැවැතිලා ඉන්න හාදය කොච්චර හම්බ කරනවද කියලා. මට ඒක අදාල නෑ, ඇයි මම ජීවත් වෙන්නෙ , මම හම්බ කරන පනං හතරෙන් නිසා.ඒත් අපේ බොහෝ අය එහෙම නෑ. හරියට හොයනවා අනුන්ගෙ විස්තර. ඔය "අඩි-පුඩි" පාටි වලදි කතා කරන්නෙ ඒවා.නැත්නම් දේශපාලනය. මට මේ ඕපදුප, අනුන්ගෙ ඇද හොයලා හිනාවෙලා, තමන්ව පුම්බ ගැනිලි වගේ ඩෝප් කතාබහ දිරවන්නෙ නෑ. ඉතිං මං කරන්නෙ ඔය පාටි වෙලාවට නමට එක දාගන්න , වයින් ටිකක් බීලා හෙමීටම ලිස්සලා යන එකයි. හැම සති අන්තෙම තියන මේ "සාද"  වලදි හැමදාම ලිස්සලා ගිහිල්ලම, උන් දැන් මේ වංචාව ගැන දන්නවා.අරහෙම හින්ට් ගහන්නෙ ඒකයි. 

ඔය කියන තරම්  කැකිරි ගෙඩියක් මට හම්බවෙන්නෙ නෑ. හම්බවෙන එක ටැක්ස් වලට කැපිලා ආවම, ගෙවල්  කුලී, ටෙලිෆෝන් ඉන්ටනෙට්, කෑම-බීම, ඉන්ධන සහ ඉන්ෂුවරන්ස් ගෙවන්නම සැහෙන ගානක් යනවා. හැබැයි, ඔය ඔක්කොමත් කරලා , මං කීයක් හරි ඉතුරු කර ගන්නවා.

පහසුකම් තිබුණත් ,මං ඉන්න නගරෙ ටැක්ස් හරිම වැඩියි, අනිත් රටවල් එක්ක සසඳන කොට. ඇත්තටම මට හිතෙන විදිහට, හම්බවෙන ආදායම නියම විදිහට පෙන්නන්නෙ නැති මේ පළගැටි රෑන, මට වඩා ගාණක් අතට ගන්නවා ඇති. ඒ කොච්චර හම්බ වුනත්, එකම සිංදුව තමා හැමදාම ගහන්නෙ. 

මගේ ජිවන රටාව හොඳම එකයි කියල මං කියන්නෙ නෑ. ඒත් මේ මං කැමති විදිහ, මට අනුන් ජීවත්වෙන විදිහ වෙනස් කරන්න ඕනෙ නෑ, ඒක එයාලගෙ කැමැත්ත. මං කියන්නෙ මට මගේ විදිහට ඉන්න ඉඩ දෙන්න කියල විතරයි.

මෙහෙම කිව්වට මටයි කියලා අනවශ්‍ය වියදම් නැත්ද? මොකෑ නැත්තෙ? මගේ අනවශ්‍ය මහප්ප්‍රාණ(© හැලපෙ) තමා ගැජමැටික්, ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර්. 

උදාහරණයක් විදිහට , ඔහෙල දන්නවා නෙව මං මීයොන්ට කැමති බව? මා ගාව තියනවා ඔය මියො දුසිමක් විතර, තව කී-බෝඩ් පහ, හයක්. තව වෛවාරන්න ගැජමැටික් අටෝරාසියක්. ඔය පොතේ විදිහටම ජීවත් වෙන්නත් බෑ නෙව? ගන්න පුළුවන් කම තියනවා නං, ගන්න ඕනෙයි කියල හිතනවා නං, ගත්තා , එච්චරයි. 

දැං ඔහෙලට හිතෙයි නෙව, ඇයි මෙච්චර මී පරම්පරාවක්ම ඕනෙ කියලා. මං කියන්නම් ඇයි කියලා.

ඉස්සෙල්ලම ආවෙ නැට්ට තියෙන, බෝලෙ තියෙන මීයා - ගත්තා ඌව
පස්සෙ ආවා බෝලෙ නැති ලේසර් මීයා - ගත්තා ඌවත්
ඊට පස්සෙ  නැට්ට නැති, වෑර්ලස් මීයා - ගත්තා ඌවත්
ඊළඟට බ්ලූ ටූත් මීයා - ගත්තා ඌවත්
ආයෙ ආවා කරකවන රෝදෙ නැති ටච් මීයා - ගත්තා දෙන්නෙක්ම

ඔන්න ඔහොමයි මයෙ මී කලෙක්ෂන් එක වැඩි වුනේ. දැං තේරෙනව නේද , ඒක මයෙ වැ‍රැද්ද නෙමෙයි කියලා? ඒ වගේම, මේ හැම මීයම අරන් තියෙන්නෙ සේල් වලදි නියම මිලෙන් බාගෙකටත් අඩුවෙන්.


බස්සගෙයි මීයොන්ගෙයි සම්බන්ධකම් ඔයිටත් වැඩිය ඈතට යනවා. බොහෝම කාළෙකට ඉස්සර බස්සා නැවතිලා හිටියා බකුසු අයියලෑ ගෙදර , මහරගම. එහෙ ඉඳන් තමා වැඩට ගියෙ.උදේ ඉඳන් , රෑ දෙගොඩ හරියක් වෙනකං වැඩකරන බස්සා, වැඩ පොලෙන්ම කාලා ගෙදර එන්නෙ  , ඩෝං ගාලා ඇඳට පැනලා බුදිය ගන්න. දෙයියනේ කියලා , බස්සට නින්ද ගැන ප්‍රශ්ණයක් තිබ්බෙ නං නෑ, ඇඳ පෙන්නන්න විතරයි ඕනා. ඒත් මේකට  එක හෙනහුරෙක් හිටියා, ඒ මී තඩියෙක්. හැමදාම මහ රාත්තිරියෙ  වහලෙන් බහින මේකා සද්ද කරලා බස්සව ඇහැරවනවා.  ඇඳේ නෙට් එක දාලා තිබ්බ නිසා හපා කයි කියලා බයක් නැති වුනත්, බකුසු නින්ද කැඩීමේ ආනන්තර්ය පාප කර්මයෙන් උන්දැට ගැලවෙන්න ලැබුනෙ නෑ. ඌට පාඩමක් උගන්වන්න බස්සා දැං දහ අතේ කල්පනා කරනවා. මීයා කිව්වට , මූ " ස්පීඩි ගොන්සාලෙස්" වගේ සතා , බස්සා හැරෙන කොට, මේකා " අරීබා, අරීබා" කියලා විදුලි වේගෙන් අන්තරස්දාන වෙනවා.

බස්සා දැණගෙන හිටියා මීයගෙ  ගමන් මාර්ගය. මූ බිත්තිය දිගේ ටිකක් නැගලා, ලයිට් ස්විච් එකට එන එස්ලෝන් බටේ දිගේ තමා
ඉතුරු ගමන. බස්සා එස්ලොන් බටේ ගෑව ග්‍රීස් යන්තමට. ඔන්න එදත් ආව, අපේ "ස්පීඩි ගොන්සාලෙස්" . බස්සා ගත්තා කොස්ස අතට. එදත් වෙනදා වගේම , මීය පැන්නා එස්ලොන් බටේට. ලිස්සුව , වැ‍ටුනා බිමට, ආයෙ පැන්නා, ආයෙ ලිස්සුව. ඔහොම තුන් හතර පාරක් , ලිස්සන ගහේ නැග්ග මීයා  කෑ ගහගෙන පැනල දිව්වෙ, බස්සා විසින් එල්ල කල කොසු ප්‍රහාරයත් කාගෙනමයි. පස්සෙ පව් කියල හිතුනත්, ඌත් දැණගන්න ඕනෙ නෙව, බස්සොන්ට කොකා පෙන්නන්න යන එකේ ආනිසංස.

බොහෝ කාලෙකට ඉස්සර බස්සා රූපවාහිනී ආයතනයක වැඩ කලා, වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට. මේ ලඟදි දවසක මං දැක්කා අපූරු ගැජමැටික් එකක් , මෙන්න මේක:


වැඩි ගාණකුත් නෑ, ඒත් අනවශ්‍ය මහප්ප්‍රාණ නං තමා. ඕන පාන් බාගයත්  රුපියල් හැටයි කියලා ,පිඹල ගිහින් ගත්තා  ඒකත්:)

දැන් වීඩියෝ එඩිටින්  අංසෙ මොනව හරි කරන්න තමා කල්පනාව. ආසාවට මිසක ‍රැකියාවක් විදිහට නෙමෙයි. 

ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මට ඔය ඉස්තිරියාවො දුන්න  කරදර ගැන කතාකරන කොට ,  මං කිව්වා ඒ ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියනවා කියලා, එතකොට අනිත් පැත්තෙන් කියපි "එහෙම නං, මා ගැනත් ලියන්න හොඳේ? මං එහෙම නෑ කියලත් ලියන්න" කියලා.

දැං මේ හදන්නෙ ඒ වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්නයි. බස්සො කියන්නෙ එහෙව් හොඳ පක්සි ජාතියක්:)   තව පොඩි හේතුවකුත් නැත්තෙම නෑ. ඔහෙලා කවදා හරි දැකලා තියනවද පිහා‍ටු ගලවපු පක්සියෙක්? 

මගේ මේ යාං හෑලි ලියන්න ගිහින් පෝස්ට් එක දිග වැඩි වුනා. දෙවියනි ඔබ කොහිද පස්සෙ ලියඤ්ඤං, ඈ?

18 comments:

  1. බස්සට වගේම මේ මම තුමාටත් කට්ටිය ඔය මැසිවිල්ල නගනවා ඉස්සර... මට ඒ කාලේ මගේ ලංකාවේ යාලුවෙක් කීවේ උඹ දොස්තරයෙක් වගේ හම්බ කරලා වියදම් කරන්නේ ඉස්කෝලේ ගුරෙක් වගේ කියලයි....

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙම වෙන්න එපෑයැ, කවිඳු ඉස්සර උගන්නලත් තියෙන නිසා. හැබැයි මේක නං බොහොම විරල අත්දැකීමක්: එලවලු ගොවියෙක්, දුෂ්කර පලාතක ඉස්කෝලෙ මහත්තයෙක්.
      ඒක නිසා වෙන්නැති ලස්සනට ලියන්නෙ

      Delete
  2. අපරාදේ ගෑල්ලමය කියපු විදිහටත් පොඩ්ඩක් වියදම් කරලා බලන්ටයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. හොඳට හිටී, උන්දෑ මාව විකුණනවා සර්කස් එකකට එහෙමනං :)

      Delete
  3. අපරාදේ ඒ ගෑනු ලමයට වියදම් කරපු කෝපි සල්ලි...නවත්තගන්ට තිබුණේ...:P

    බකුසු බෙනේ මාර ලස්සනයි දැන්. :D

    ReplyDelete
    Replies
    1. කෝපි වලට නං වියදමක් ගියේ නෑ. ගෙදරමනෙ හිටියෙ :)

      සල්ලි, සල්ලි කියල බලන් නැතුව, ඔන්න ඔහේ ඇන්ඳුව අලුත් ඇඳුමක් බෙනේට

      Delete
  4. අර ගෑල්ලමයාගේ පාටමාලාවත් කොලා නං තමා හොඳ,මොකද ගොඩක් ගෑල්ලමයි ඕකෙ අනික් පැත්ත.

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් එයාත් අනිත් පැත්තෙ තමා. කිව්වෙ, මට හම්බ කරන්නයි, එයැයි එව්වා ඉවර කරන හැටි පෙන්නන්න හිතාගෙන තමා :)

      Delete
  5. අප්පට සිරි, ඉස්සර ගැහි ගැහි හිටිය frozen බස්සා motto එක වෙනස් කරලා තටු විහිදාගෙන මොකාටද එන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ ත‍ටු පොරවන් හිටියෙ හීතල හින්දා නෙව? දැං රස්නෙයි, මේ පවන් ගහ ගන්නවා :)

      Delete
  6. ගැජමැටික් මේනියාව කෙලවෙන කෙලියක් ආයිබෝවංඩ
    විඩෙං විඩේ ඕක සහලෝලා එනවා
    එහෙව් වංගියක ගත්තා ක්‍රෝම්කාස්ට් කියල එකක් - වගතුවක් නෑ!
    පිච්චියට කෙලවෙනවා... අනේ මන්දා!

    ReplyDelete
    Replies
    1. ක්‍රොම් කාස්ට් එක නරක නෑ නෙව, යූ-ටියුබ් එකේ තියෙන සිංහල ටෙලි ඩ්‍රාමා ටික ටීවී එකේ බලන්න ?

      Delete
  7. බස්ෂා හවුස් එක පේන්ට් කරලා ඈ.
    අර මියා අවුරුදු උත්සව වල ග්‍රීස් ගහේ නැගලා පුරුදු මීයෙක් වුනා නම් කොහොමද කතන්දරේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ පේන්ට් කරල දැම්මා , ආයිබෝං :)

      මං හිතන්නෙ මූ එහෙම කලින් ග්‍රීස් ගහේ නැගල පුරුදු එකෙක් තමා. අර කීප සැරයක් වැටි, වැටි බාගෙට නැගලා කලේ ග්‍රීස් ටික අයින් කරපු එක. ගුට් කෑව උනත් ආපහු ගියේ බටේ දිගේම තමා. යන කොට කෑ ගහගෙන ගියේ , කොඩිය අරන් ගිය නිසා වෙන්ටෑ?

      Delete
  8. මම හිතන්නේ අර කෙල්ලගේ වාසනාව උඹේ අවාසනාව වෙන්න ඇති.. හෙහ්..

    කොහොමත් රස්සාවක මුල් කාලෙදි ඕනම කෙනෙක්ට යාළුවන්ගෙන් අහන්න වෙන කතා ටිකක්නේ ඕක..

    බොලේ ඕනම ටික ලියලා නැහැනේ මේකා..

    ReplyDelete
    Replies
    1. එහෙම ටික කාලෙකට විතරක් නෙමෙයි, මේක "ලා තනකොළ පෙත්තාස්" ගෲප් එකේ තේමා ගීතය :)

      Delete
  9. මටත් ඔය මේනියාව තියනවා. හොඳ වෙලාවට අතේ සතේ නෑ :D

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද? මේ යක්කු ණයටම නෙව අරිෂ්ථ ගහන්නෙ :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code