මං කියන්නෙ , මේක බරපතල gender discrimination එකක්. ඇයි අපි ඔටුවොද? ඇත්ත, මෙව්වා "පිරිමින්ට අයිති නැති, ගෑණු වැඩ" කියන සමාජ සංකල්පයක් තිබුණා තමයි. නමුත් වර්තමානයේ අපේ ජීවන රටාවත් එක්ක මේ සංකල්පය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.අපට තියෙන්නෙ ,අපේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයෙ තියන , වැඩකට නැති විෂයක් හලලා හරි "ගෘහ විද්‍යාව" නැවත රිංගවන්න. මං නං කියන්නෙ ඒක අනිවාර්‍ය විෂයක් කරලා, අකමැති කොල්ලන්ට බලෙන් හරි උගන්නන්න ඕනෙ. උන්දලා පස්සෙ කාලෙක හරි ඒකට පිං දෙයි.
තමන්ගෙ වැඩ තමන්ම කරගන්න, ස්වාධීනව ජීවත්වෙන්න හැකි සමාජයක, මේ"ගෘහ විද්‍යාව" කියන්නෙ බොහොම හුරුබුහුටි කුසලතාවයක්, මිස ලැජ්ජාවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. අද බොහෝ අය උසස් අධ්‍යාපනය, රැකියාව වැනි දේ නිසා තරුණ කාලය ගත කරන්නෙ ගෙදරින් පිට, බෝඩින් වල. ජීවිතේ යම් කාලයක් ගෙදරින් පිට ඉන්න නොවිච්ච අය , අද හොයාගන්නත් අමාරුයි. මෙවැනි පුහුණුවක අගය දැනෙන්නෙ අන්න එතකොටයි.
ගෘහ විද්‍යාවට අයත් දේ අතරින් වැදගත්ම, නමුත් වැඩිම අවතක්සේරුවට පාත්‍ර වෙලා තියෙන්නෙ සූප ශාස්ත්‍රය. මට අනුව නං උයනව කියන්නෙ කලාවක්. බෙරි නොවෙන්න, බතට කොච්චර වතුර කියන්න ඕනෙද කියන එකේ සිට , හොද්දට පදමට ලුණු-ඇඹුල් දැමිල්ල දක්වා හැම එකකටම කලාවක්-වෙලාවක්, ගාණක්-මිම්මක් තියනවා.
උදාහරණයක් විදිහට ඇඹුල් ගත්තාම, දෙහි, තක්කාලි, ගොරක, සියඹලා ඔක්කොම ඇඹුල් උනාට එව්වයෙ රස වෙනස්, මොන එක මොන වෑංජනයට දානවද කියන එක තමා කලාව.
තවත් මම දැකලා තියෙන දෙයක් තමා කෑම උයන්න දන්න අය උනත්, දන්න කෑම රෙසිපි ගැන උනත් තියෙන නොදනුවත් කම. සමහරු ඔහේ හිතට එනදේ හොද්දට දානවා , හිතෙන, හිතෙන විදිහට. අපේ හෝතම්බුවාට ඔය ගතිය සැරටම තියනවා.හදිසියෙ හරි, අල, ළූණු අඩුවට දාලා තිබුනොත් උන්දැට ඒක හොඳ නෑ, ගාණ වැඩි එකම තමා හොඳ. මට මතක් වෙන්නෙ බාලා. කාලයක් මම මැලේසියාව ලඟ තිබ්බ දූපතක වැඩකලා. බාලා හිටියෙ අපේ චමරියෙ. එදා බාලා උයන දවස. අපි ගෙදර ආවෙ හොඳට බඩගිනිවෙලා. බාලා ඉන්නවා ඉස්සරහ ඉස්තොප්පුවෙ වාඩිවෙලා කකුල් වන,වන. මුකුත් උයල නැ. ඇහැව්වාම කිව්වෙ මෙහෙම " ගේ හරියෙ, කොත්තමල්ලි, උළුහාල් ඇටයක් නෑ, ඉතිං කොහොමද උයන්නෙ?"
අපේ හෝතම්බුවා මීගමුව පලාතෙ. හරියටම කියනව නම් කිරිමැටියානෙ. මස් , මාළු ගැන අපිට උන්දලා එක්ක හැරෙන්නවත් බෑ. උන්දැගෙ කුකුල්මස් කරියයි, මාළුමිරිස් දාලා මිරිසට හදන සැමන් එකයි පංකාදු පහයි. ඔන්න මං ඉල්ලුව රෙසිපිය:
මං: මචං , දැන් ඔය වෑංජනේ හදන්නෙ කොහොමද?
හෝතම්බුවා: සැමන්, මාළුමිරිස් තුනපහ, මිරිස් අතගාලා පැත්තක තියලා, ලූණු මිරිස්, කරපිංචා තෙලට දාලා , ඒකට අර සැමන් දාලා ගන්නවා.
මාත් ඒ කිව්ව විදිහට හැදුවා, බල්ලෙකුට කටේ තියන්න බෑ.
මං: ඈ බං, මං හැදුව හරිගියේ නෑ නෙව? ඒකට තව මොනව හරි අඩුයි වගේ? සුදු ළූණු දානවද?
හෝතම්බුවා: නැතුව
මං:දැං බලාපං , උඹ ඕක මට කලින් කිව්වෙ නෑනෙ? මේක හරියන්නෙ නෑ. උඹ හදපං , මං බලාගෙන ඉන්නම්.
පස්සෙ බලනකොට අඩුපාඩුව. ඇඹුල්.උන්ද ඒකට තක්කාලිත් දාලා, ගොරක බික් දෙක තුනකුත් දානව. ගොරක නැතුව මේ සම්මජාතියෙ ඒකෙ නියම රහ එන්නෙ නෑ. ගොරක තමා එතන secret ingredient එක.
මං පරිප්පු උයන්නෙ, ඇට බෙරි නෙවෙන්න. මං පරිප්පු හදනවා , මිරිසට පොල්කිරි කඳුලක් නොදා , ගෙදර ළූණු නැත්නම් ඒ මුකුත් නැතුව. කිසි අවුලක් නෑ යස අගේට තියනවා. එකම දේ තෙම්පරාදු කරනවා. දැන් අපි එන්නෙ, වෑංජනේක secret ingredient එක කියන මාතෘකාවට.
සමහර විට මේ එක අත්‍යාවශය දේවල් එකක් හෝ අඩු වුනොත්, බලාපොරොත්තුවෙන රස ලැබෙන්නෙ නෑ. හිංගලෙන් ඔව්වට කියන්නෙ secret ingredient කියලා. සම්බෝලෙට, කරවල බැදුමට සියඹලා සහ අනෙක් බොහෝ වෑන්ජන වලට "oyster sauce" තමා මගේ secret ingredients.
ඉස්සර පොඩිකාලෙ මං පිට ගෙදරකට ගියොත් කෙලින්ම රිංගන්නෙ කුස්සියට, උයන හැටි බලන්න. අපේ ගමේ වයලට් අක්කා තමා , මට ඉස්සෙල්ලාම කරවල බදින හැටි ඉගැන්නුවෙ. ඉස්සෙල්ලාම බැදිය යුත්තේ කරවල බවත්, ලූණු තෙලට අන්තිමට එක්කරන්නේ කරවීම වැලක්වීමට බවත් කී වයලට් අක්කා , "In the game of cooking, timing is everything " නැමති වටිනා පාඩම මට ඉගැන්නුවාය.
කෑම වල texture එක කියන්නෙ බොහොම වැදගත් දෙයක්.
ආහාරයක, ගුණයත්, රසයත් , පෙනුමත් ගන්න නම් මේ texture එක රැකගන වැඩිත් නැතුව, අඩුත් නැතුව උයාගන්න ඕනෙ. විශේෂයෙන්ම එලවළු, බෝංවි, කොල වගේ එව්වා. මේ කලාව චීන්නු හොඳට දන්නවා. ඔබ දකින චයිනීස් කෑම වල, එලවළු ලස්සනට කොලපාටට , කරස් ගාලා හැපෙන පදමට තියෙන්නෙ ඒකයි.තුනපහ අධික ලෙස යොදා , තලප වෙන්න බෙරි කරලා උයන ඉන්දියන් කෑමට මම අකමැතිත් ඒකයි.
අවාසනාවට දේශීය වෙදකම වගේම, අපේ සුප ශාස්ත්‍රයත් අභාවයට යන කලාවක් කියලයි මට හිතෙන්නෙ. තවකෙනෙකුට කියාදෙන්න ඇති අකමැත්ත, මෙව්වා ඉගෙන ගන්න, ලේඛණගත කරන්න උනන්දුවක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම වගේ හේතු ගණනාවක් මෙයට දායක වෙනවා ඇති.මා මෙන්ම ඔබත් බොහෝ විට අසා ඇති සමහරු මෙහෙම කියනවා " අපේ අම්මා හදනවා කිරිකොස් මාළුවක්, ආයෙ මොනවද ඒක එක්ක විතරක් බත් පිඟානක් කතෑකි" .
ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඒ හැකියාව ඊලඟ පරම්පරාවට නොයෑමයි. ඒ නිසා ඒ පරම්පරාවෙ අයට කියන්න වෙන්නෙ " අන්න අතන හෝටලයෙ රෝල්ස් මාරයි, අහවල් හෝටලයෙ බුරියානි එක නියමයි" වැනි කතා විතරයි. පහල විඩියො එකේ 7.58 හරිය බලන්න. කොළඹ හොඳම බුරියානි හදන්නෙ මෙතැන. ලොකු, ලොකු තැන්වලත් මෙතනින් ඕඩර් කරලා අරගෙන ගිහින් විකුනනවා.
Now, this song is stuck in my head :)
කාලීන අදහසක්. දියුණු රටවල 10-14 වයස ළමයින්ට ආහාර පිළියෙල කිරීම පාසැලේ ක්‍රියාකාරකමක් ලෙස කියා දෙනවා. ඒ දවස්වල මගේ ළමයි ගෙදර ඇවිත් ඒ කෑම හදන්න උත්සාහ කරනවා. අද ඔවුන් තමන්ගේ ආහාර තනියම හදා ගන්නවා. ආහාර වල ගුණ අගුණ කියාදීමෙන් නොනැවතී ඒවා පිළියෙල කිරීමම ළමයින්ගේ සහභාගීත්වයෙන් කලාම කුඩා කාලයේදී ඔවුන්ගෙන් ගෙදර කටයුතු වලට වෙන සහයෝගයට අමතරව ඔවුන් බොහෝ ස්වාධීන වෙනවා. මේ රටෙත් ක්‍රියාත්මක කරන්න හොඳම හොඳ අදහසක්.
ReplyDeleteමට කන්න පුළුවන් ගාණාට උයාගන්න සැහෙන කාළයක් ගියා. ඉස්සර මම උයනකොට කරන්නෙ, කුස්සියෙ තියෙන ඔක්කොම ජාති හැම එකම ටික, ටික හැම හොද්දට දානවා. උයල ඉවර වුනාම, ආයෙ මොනවද සාම්බාරු වගේ තමයි.
Deleteහරි හමන් මඟපෙන්වීමක්, පුහුණුවක් ලැබිල තිබුණනම් එයිට වඩා ලේසියෙන් බෝඩිං ජීවිතේට අනුගත වෙන්න තිබුණා.
මට මතකයි අපි පොඩි කාලේගෑණු ළමයි යනවා ගෘහ විද්‍යාව කරන්න ගිහින් එක එක කෑම ජාති හදනවා. නියම කතාව . ජයවේවා !!!
ReplyDeleteඅපිට කොයින්දෑ පූසො මාළු, අපි යැනවෙයි මූදු :)
Deleteමමත් කෑම හදලා කස්ටිය එක්ක අඩියක් පුඩියක් ගහලා ඉන්න හරි ආසයි. ඔය කෑම හදන්න ආස අය හරි රසවන්තයෝ. අත්දැකීමෙන් කියන්නේ.
ReplyDeleteකරවල හදනකොට සියඹලා දාන එක මටත් අලුත් අත්දැකීමක් වෙයි. මම කරවලවලට නම් තක්කලි තමයි. මම කෑම එක්ක මට ඕන සෙල්ලම් දාන්වා. ඒක හරියට කරගන්න පුලුවන්. කුකින්ග් කියන්නේ ආර්ට් එකක් සහ සයන්ස් එකක්. බස්සෝ මේ පෝස්ට් එක කරවල හොද්දයි ,ගාපු කලටි පොල් ටිකක් සහ තම්බපු කොස් හැලියක් වගේ රහයි.
කලටි පොල් එක්ක කොස් යි කරවල හොදියි කාලා නැති වුනාට මටත් කියන්න තියෙන්නේම මේ කතාව තමයි. ඉවීම කියන්නේ කලාවක්. ඒක අපේ ටැලන්ට් වලට උපරිම තැන හොයාගන්න පුළුවන් වෙන තැනක්.
Deleteඉස්සර තුනපහ කියන්නේ මොකක්ද කියලාවත් අයිඩියාවක්වත් නැතිව හිටපු මම රස බත් සහ එළවළු කියන්නේ ලංකාවේදි අපේ ගෙදර අක්කලා හදන දෙයක් විතරක් කියලා හිතපු මම මේ අගේට දැන් ශ්‍රී ලංකන් කෑමත් හදන්නේ. ඒ විතරක් නම් මදැයි දැන් ඉන්දියන් කෑමත් හදනවා. කොටින්ම ඉන්දියන් රෙස්ටොරන්ට් එකට වඩා ඒ කෑම රහයි කියලා ගෙදර මනුස්සයාත් කියනවා.
@ Aruna
Deleteමමත් කරපු සමහර අත්හදාබැලීම් සාර්ථකයි. මාළු ඇඹුල්තියල්, වම්බොටු මෝජු වගේ එව්වා. මේ සුද්දො හදන ලූණු මාලුවක් තියනවා , පුදුම රහක් තියෙන්නෙ.යන්තම් තෙල් දාලා අරගෙන වගෙයි පේන්නෙ. මම දන්න සෙල්ලං දැම්මා හදාගන්න. මොන? හරි රහ එන්නෙම නෑ. පස්සෙ sweet onion ගෙනැල්ලත් හදන්න බැලුව, ම්හු :(
@ රංගි
බොහොම සංතෝසයි දියුණුව ගැන
බස්සෝ...ඔය ලූණු මාලුව කියන්නේ මොකක්ද කියලා මට හරියට තේරුනේ නැහැ. ට්‍රයි කරලා බලපන් shallots දාලා.
Deleteබැලුව, හරි ගියේ නෑ. එතන මොකක් හරි secret ingredient එකක් මිසින්. හෙමිට අහන්න ඕනෙ සුද්දියෙක්ගෙන්, ලැජ්ජාව පැත්තක තියලා
Delete
DeleteSweet and Sour Onions ගැනද කියන්නේ?
ඒක හදාගන්න නම් එච්චර අමාරු නෑනේ.
හෙල්ප් එකක් ඕනෙ නම් කියන්නම්...
try with balsamic vinegar
Delete@රංගි
Deleteබොහෝදුරට ඒක වෙන්න ඉඩ තියනවා. නම දන්නෙ නැතුව හිටියෙ. තෑන්ක්ස්
මට නම් තියෙන ප්‍රශ්නේ ගොරකා හොයාගන්න එක. සියඹලා නම් හොයාගන්න පුළුවන්. මම ගල් මාළු වගේ දේවල් ගොඩාක් ම ග්‍රේවි පොඩ්ඩක් තියලා හදන්නේ ගොරකා දාලා. උයලා ටිකක් වෙලා ගියාම නැත්නම් පහුවදාට ගෑවුන ගෑවුන තැන් වලත් කෑවහැකි පාන් කෑල්ලක ඔබා ගත්තම.
ReplyDeleteඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ ඔය ගොරකා (garcinia) තමයි දැන් කෙට්ටු වෙන්න ගන්න බෙහෙත් වල තියෙන මේන් සීක්‍රට් එක කියහල්ලාකෝ.
කෑම ගැන ලිව්වොත් රංගි එතන...
Deleteරංගි....කටේ තියන්න බැරි ඇඹුල් ග්‍රේප්ස් වැලක් තිබුනා අපේ මිතුරෙකුට මෙහේ. මම ඉස්සර ඒවා දානවා උයන කොට ඇඹුල් ගන්න. sour grapes :D
අරූ ඒක වෙන්නේ මෙහෙමයි. මම බ්ලොග්නොකියවන කොමන්ට් නොකරන හේතුවක් තියෙනවා. සමහර බ්ලොග් තියෙනවා කියවන්නේම නෑ. හේතුව ඔෆෙන්සිව් හෝ අනෙකාට අපහාස කිරීම. එහෙම නැති බ්ලොග් කිහිපයක් මම අහු උනොත් ඕනේ වෙලාවක කියවනවා. කොමන්ට් නොදැම්මට. ඒ වගේ බ්ලොග් වලින් එකක් එකක් බස්සා. වෙනදා කියවලා හොරෙන් යන වෙලාවල් තිබුනට මේ වගේ කට කහන කතාවලට එහෙම කරන එක සාධාරණ නෑ නෙව. ;)
Deleteගොරකා බලන්න, ඉන්දියන්, පකිස්තානි කඩවල ඇති, හැබැයි හින්දි නමෙන් තමා ඉල්ලන්න වෙන්නෙ. දැන් ගොරකා පේස්ට් එක එනවා වගේ බ්‍රෑන්ඩ් වලින්. කල් ඉකුත්වීම බලලා, මං වගේ එකපාර බෝතල් හතර, පහක් ගත්තාම වැඩේ අහවරයි.
Deleteහෙහ්, හෙහ් හොරෙන් පෝස්ට් කියවලා ලිස්සලා යන හොර බළලු කීපදෙනෙක් ඉන්න බව මං දන්නවා. උන්දලට ඉඳලා හිටලා දෙන්න ඔනෙ කුප්පමේනිය පෝස්ට් එකක් ඤාව් ගෑවෙන්න :)
@Aruna
sour grapes? ඒක මං දැනගෙන හිටියෙ නෑ. බලන්න ඕනෙ
මගේ අත්හරින්න බැරි පුරුදු ගොඩට බ්ලොග් කියවීම වැටිලා ඉවරයි. මමත් කාලයක් කියවලා සහ ලියලා හ්ම් සහ අපොයි කියලා කමෙන්ට් කිරිල්ල සහ ලිවිල්ල අත හැරියා. ඒත් දැන් මට හිතෙනවා..සමහර බ්ලොග්ස්වල මොකක් හරි කියන්නම ඕන කියලා. මේ ඇඩික්ශන් එකත් හීනියට අඩියක් ගහන්න පටන් අරන් හැමදාම අඩියක් ගහනවා වගේ බොන්න ඕන ප්‍රශ්නයක්. ඒ බෙදීමේ ඉර.. අද කමෙන්ට් කරනවාද නැද්ද වගේම බොන්න ඕන ප්‍රශ්නයක්. මට කියන්න ඕන දේ මම කියලා දානවා කාටවත් අපහාසයක් නොවෙන්න. ඒත් මම උපහාසයට කැමතියි. බ්ලොග්ස් කියන්නේ හිඟන්නට තුවාලයක් වගේ : D බළලුන්ට කුප්පමේණිය වගේ.
Deleteබස්සෝ... කුප්පමේණිය කොළ මැල්ලූම කාලා තියෙනවද..
හෑ, කුප්පමේනිය කොළ මැල්ලුම? අදමයි ඇහැව්වෙ.
Deleteඉස්සර කුප්පමේනිය කොළවලින් මින්චි සම්බෝල වගෙත් හදනවා. පනු අමාරුව කියලා එකක් අහලා තියෙනවද..ඒකට හරිම හොඳයි කියලා තමයි කවන්නේ. දැන් නම් වර්ම් ට්‍රීට්මන්ට්ස් කියලා ජාති තියෙනවනේ.
Deleteඔය මින්ට් චට්නිය වගේම, දළු කරපිංච චට්නිය, Basil චට්නියත් හරිම රසයි. බත් එක්ක වගේම, පරෝටා, නාන් එක්කත් පොඩි සයිඩ් කොන්ඩිමන්ට් එකක්. හදාගන්නත් ලේසියිනේ. කෑම කිව්වාම මල පෙරේතයා වගේ කමන්ට්ස් දානවා නේද...ගනන් ගන්න එපා.
Deleteනෑ, කිසිම අවුලක් නෑ. මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වුනෙත් ඒකයි - දන්න , නොදන්න දේ ගැන සාකච්චාවක්, ඒක සාර්ථකයි.
Deleteචට්නි ගැන නොදන්න දේ ඉගෙන ගත්තා. දැන් දෙන්නම් ඇස්ට් හැලෙන්න :). දැණුවත්කලාට පිං
ඒත් මම උපහාසයට කැමතියි.
Deleteමාත්.
ඒත් බ්ලොග් අස්සේ තියෙන නානාප්‍රාකාර බෙදීම්, වලි, ගහ මරා ගැනීම්, බෝතල් සෙට් වීම හරහා විතරක් වෙන පිට කැහීම් දැක්කම බ්ලොග් එපා වෙන බවකුත් තියෙනවා. අනෙක මට පෞද්ගලිකව නොවුනට තව කෙනෙකුට අපහාස වෙනවා නම් ඒ පුද්ගලයා ගැන පැහැදීමකුත් මට නෑ. (උපහාසය වෙනස්. )
නියම ලිපියක්...
ReplyDeleteස්තූතියි
Deleteබසු කුකරි කතා කියවද්දි මට මතක් වුනේ අපේ මාමගේ වයිෆ් (නැන්දම්මා) අපි පොඩි කාලේ හදලා දෙන තක්කලි තෙලට දාල හදන එකක්. මතක විදියට අමු තක්කලි. එයාලට කොටු තිබුන නිසා අමු තක්කාලි ගෙදර නිතර තියෙනවා. කරවල දැම්මද මතක නෑ. ඒත් අවුරුදු තිස් ගාණක් ගිහිනුත් මට අදටත් ඒ රස මතක් වෙනවා. හැම ටෙස්ට් එකක්ම කරලත් තව වෙනකම් ඒ වගේ ළඟට යන්නවත් තක්කාලි තෙල් දාගන්න බැරි වුනා. අදටත් මතක් වෙද්දිත් හීනි දුකක් දැනෙනවා. ඒ රහ මතක් කර කර හරි කන්න පුළුවන් රහක්... දන්නවා නම් තක්කාලි තෙල් දාන හැටි කියන්නකෝ එහෙම රසට.
ReplyDeleteඔය තක්කලි තෙල් දාන කතාව මං තව තැනක කියවල තියනවා, හැබැයි කාලා නං නෑ.
Deleteමං කියවපු කතාව අනුව, ලියාපු කෙනා, පොඩි කාලෙ අත්තගෙ කෑම එක අරෙහෙන හේනට යනවා. අත්තා ඉනේ තියෙන පිහියෙන් , එවෙලෙම කඩාගත්ත තක්කලි තෙල්දාලා මාළුවක් හදනවා. එයත් කියල තිබ්බෙ ඒකෙ රහ ගැන ඔය වගේමයි. සමහරවිට අපට එහෙම අමු තක්කාලි හොයාගන්න බැරි නිසා වෙන්න ඇති නියම රසය එන්නෙ නැත්තෙ.
තව දෙයක් තමා බඩගින්න , අවස්ථාව සහ පරිසරය. , අහල ඇති නෙව හැමෝම කියන කතාව: පොඩි කාලෙ කාපු කෑම වල රහ සහ දැන් ඒ රහ කෑමට නො එන කතාව. මම කාපු රහම කෑම කෑවෙ රත්නපුරේදි.
මතක විදිහට අපි නැග්ගෙ කුකුලාගල වගේ නමක් තියන කන්දක්. යන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ, කැලේ කපාගෙන තමා මුදුනට ගියේ. හැන්දෑවෙ එනකොට පාං කියාගන්න බෑ. කව්ද කිව්වා, මහන්සි නොබලා වෙලේ පොකුණට ගිහින් නාගෙන එන්න කියලා. අපි හිටියෙ රබර්ගස් ගලවන වත්තක වාඩියක. වාඩියෙ කට්ටිය තම්බල තිබුණා අලුත් මඤ්ඤොක්කා. මස් කරියක් බොරට ගම්මිරිස් වැඩියෙන් දාලා. එහෙම කෑමක රස ජීවිතේටම මතක හිටිනවා. අද අලුත් නැති වුනත් මඤ්ඤොක්කාත් තියනවා, නානා ප්‍රකාර මස් වර්ගත් තියනවා. ඒත් ඒ රස නම් ගන්න බෑ, හේතුව හිතාගන්න ඇහැකි නෙව?
උත්සහකරල බලන්න ඕනෙ , අඩුවෙන්ම ඉදිච්ච තක්කාලි හොයාගෙන තෙල්දාන්න. හරිගියොත් කියන්නම්
පිරිමියෙක් කියල උයන්න ඉගෙන ගත්තට කිසි මදිකමක් වෙන්නෙ නෑ. ඔය වාඩිවල එහෙම ගෑණු අය ඉන්න එකක්යැ උයල දෙන්න කියල. වැඩකරන ගමංම උයාගෙන කන එකක්නෙ වෙන්නෙ.
ReplyDeleteවාඩි වල වගේම, පාරු, පතල් ඔය හැම තැනකම ඉව්වෙ පිරිමි. එහෙම උඅයන කෑම වල ඒවාටම ආවේනික විශේෂත්වයක් තිබුණා.
Deleteබස්සන්ට අංශක 180 ට බෙල්ල හැරවීමට පුලුවන්වී ඇත්තේ සමබර ආහාර ගැනීමෙන්බව පැහැදිලිය
ReplyDeleteසමබරද කියන්න දන්නෙ නෑ. හොඳනම් කෑවා. ඔය කියනකම් කෑමයි , බෙල්ලයි අතර සම්බන්ධය මට කල්පනා වුනේම නෑ නෙව? :)
Delete