Mar 27, 2021

මිල්ල සොයා යෑම

 


මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"

අපේ හිතවත් බ්ලොග් රචක you-know-who මහතාට වැටිච්ච කමෙන්ටුවක් මේක:

"ඔහෙලා එදා ඉදං කියනවා ලංකාවේ ආර්ථිකේ මෙච්චර පහල බැහැලය, තව ටික දොහකින් මෙහෙම වෙනවය, අරක මේක.ඒ උනාට එදා ඉදං අපි නං හැන්දෑවට අඩියක් ගහලා, කාන්තා ඇසුරේ යෙදිලා, විවේකයට රට රාජ්ජ වල ඇවිදලා කරලා ඉන්නවා විනෝදෙන්. ඔහෙලා මේ කියන ආර්ථික ගැටළු කෝ? වසර 96/98 කාලේ වගේ කිව්වා 2000 වෙනකොට නියග එනවා, කන්න නැති වෙනවා අනං මනං බයිලා. ඒ කාලේ කිව්වා වසර 2020-2025 වෙනකොට බොරතෙල් ඉවර වෙනවා, බලශක්ති අර්බුධයක් එනවා, මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති වෙනවා, ඔක්සිජන් ටැංකි පිටේ බැදන් යන්න වෙනවා කතා.

ඔහෙලා ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඒකයි මෙහෙම ෆේල් වෙන්නේ බොරු මත කියලා. ආර්ථිකේ පහලට වැටුණු එකක් නැහැ. මිනිස්සුන්ගෙන් ඇහුවොත් නං කියයි මීට කලින් හොදට හිටියා, හැබැයි දැන් හරි නැහැ කියලා. ඒ හැටි. ගිය අවුරුද්දේ ෆුට් සයිකලේ ගිය ඩයල් එකත් මේ සැරේ ඇල්ටෝ එකක යද්දිත් කියන්නේ, ගිය පාර හොදයි දැන් සවුත්තුයි කියලා.

ඔහෙලා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඒක කිව්වට වටහා ගන්නෙත් නැහැ."

මම මේ කමෙන්ට් දෙක දැම්මේ, "සමාජ ජාල කියන්නේ අපේ සමාජය නිරූපණය කරන තවත් පැතිකඩක්" කියල කව්ද කිව්ව නිසයි. මම මේ කමෙන්ට් විවේචනය කරන්න යන්නෙ නෑ. එහෙම කරන්න, සදාචාරාත්මක අයිතියක් මට තියනවද කියල දන්නෙත් නෑ. අනික මම බස්සෙක් මිසක් Sociologist කෙනෙක් නෙමෙයි නෙව?


ඊලඟට මෙන්න මේක:

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ"

මෙහෙම කියන්නේ චන්දිම ගෝමස්ට හමුවූ යුදෙව්වෙක්. ෂමොටි දොඩම් කියන්නේ ඊශ්‍රායලයෙන් එන කොලිටියෙනුත්, මිලෙනුත් ඉතා ඉහල දොඩම් වර්ගයක්. චන්දිමගේ "පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ" පෝස්ට් එකම ඉතා අගනා එකක් නිසා, කියවල නැත්නම් බලන්න කියල මම ඉල්ලා සිටිනවා.

මෙතන මොකක් හරි "අවුලක්" තියනව කියල හිතෙන්නෙ මම බස්සෙක් නිසාද? සුද්දො දියුණු වුනේ අපේ තාක්ෂණේ හොරකං කරගෙන ගිහිල්ල කියන කතාව බොරුද? බෝට්ටුවෙන් හරි හැමෝම රට පනින්න යන්නෙ මොකද? එතකොට මං රට ගියේ...... ආ, දැන් මට ඒක මතක නෑ නෙ?

21 comments:

  1. නෑ නෑ බොරු නෙමෙයි, අපේ හැල තාස්සනේ හොරකම් කරං තමයි සුද්දො කොමෝඩ් එකේ ඉදං ස්පේස් සටල් එක දක්වා හැදුවෙ.

    බෙල් සීගිරිය ගල යට කොන්ක්‍රීට් දාල වහපු හැල රකුස් රාවණා අදිරාජයාගෙ ජෙනටික් ඇතුලු හැම විජ්ජාවම කරපු ලැබ් එකයි, අගහරු වලට ගිය දඩුමොනර කන්ට්‍රෝල් රූම් එකයි ඇරියාම ඔක්කොම ඔප්පු කලෑකි. එතකං රාවණාගෙ පයිලට්ගෙ පරම්පරාවෙන් එන සීයා කෙනෙක් ගාව තියන පුස්කොල පොත තමයි සාක්කි.මගෙ යාලුවෙක්ගෙ පුංචි අම්මගෙ පුතාගෙ අල්ලපු ගෙදර ලේඩිගෙ දුවගෙ ස්විමිං කෝච්ගෙ බාප්පගෙ ඩ්‍රයිවර්ගෙ තරහකාරයෙක් ඒ පොත දැකල තියනව.
    බෝට්ටුවෙන්හරි රට පනින්නෙ සුද්දො හොරකං කරල අරං ගිය හැල යක් තාස්සනේ රෝයල්ටි පොලියත් එක්ක එක්කහු කරං එන්න.

    ReplyDelete
    Replies
    1. phew...දැන් නෙව මට කතන්දරේ හරියටම තේරුනේ, මට නිකමට හිතෙනව, ඉතාලි කාරයො තමා අපෙන් වැඩියෙන්ම හොරා කාල තියෙන්නෙ කියල

      Delete
    2. ඔව්, රොමියුලස්ට කිරි දුන්නෙ හැල රාවණා අදිරාජයාගෙ ස්පැනියල්

      Delete
  2. 'අනික මම බස්සෙක් මිසක් Sociologist කෙනෙක් නෙමෙයි නෙව?' මළා... එතකොට social butterfly කෙනෙක්වත් නෙවෙයිද.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. බස්සො ටිකාක් විතර සීරියස් සත්තු ජාතියක්:
      you only get'Uhoo'!

      Delete
  3. පුංචි රටේ පුංචි මොළේ ඉදිමීලා වගෙයි අපේ
    ඒ වැරැද්ද තේරුම් ගන්නේ නැතිවද මෙදා කපේ
    වැරදි දේම අහුලාගෙන, හොද්ද නටන තුරා ළිපේ
    අපි කකුළුවො, ඇදට යමින් දිගින් දිගට පාමු ඔපේ

    ReplyDelete
    Replies
    1. බස්සෙකුට වුනත් තමන් උපන් , හැදුනු වැඩුන රට අමතක වෙන්නෙ නෑ. මගේ අරමුණ, අපි දැන්වත් ඇත්ත තත්ත්වයට මුහුණ දෙන්න ඕනා කියල කියන්නයි. අපට අවශ්‍ය සම්පත් තියනවා, ඒත් අවශ්‍ය තාක්ෂණය නෑ. රට වටේම මූද තියනවා, මත්ස්‍ය සම්පත හරිහැටි කළමනාකරණය කරගන්න බෑ. මේක සංකීර්ණ ප්‍රශ්ණයක්, නිසා තනි පුද්ගලයෙකුට, පක්ෂයකට වරද පටවන එකෙන් වලකිනවා. ඒත් කණගාටුයි.

      Delete
    2. මම 'අපි' කියලා කිව්වෙත් ශ්‍රී ලංකේය පුරවැසියන් සේරම කියන අදහසින්.... ඔය කණගාටුවම තමයි මට තියෙන්නෙත් බස්සා මහත්තයෝ!

      Delete
    3. සමහර විට කාලයත් එක්ක මේවා වෙනස් වේවි, කාලයකට ඉහත සැරටම තිබ්බ කුලභේදය, ලමයින්ව වැඩකාරකම් වලට ගැනීම වගේ දේවල් වියැකිලා යනව වගේ. නරක පැත්තක් තිබ්බත් අද අපිට කතා කරන්න, අදහස් හුවමාරු කරගන්න නිදහස තියනවා. ඒ නිසා අපට
      තාමත් බලාපොරොත්තු තියාගන්න පුළුවනි.

      Delete
  4. මමත් දැන් මේ පිට රටක හිටියට මට කවදාවත් ලංකාවේ ඉන්න එක ප්‍රශ්නයක් උනේ නැහැ... මට ඔය අනිත් අයට පේන ප්‍රශ්න කිසි දෙයක් ඒ කාලේ තේරුනෙත් නැහැ.. තාමත් හරියට තේරෙන්නේ නැහැ.. යාලුවෝ මට කියන්නේ උඹ ඉන්නේ ෆැන්ටසි ලෝක වලනේ උඹගේ virtual ජිවිතේට ඕව තෙර්න්නේ නැහැ කියල.... හෙහ් හෙහ් ...

    අනිත් හැම රටේම උපන් උන්ට ඒ රටේ සිස්ටම් වලයි, ආර්තිකෙයි, දෙසපාලනෙයි ප්‍රශ්න ඕනේ තරම් පේනවා.. අපි ගිහින් අහසින් පාත් වෙලා ජිවත් වෙනකොට අපි ඒවා දන්නෙත් නැහැ අදාළ කර ගන්නෙත් නැහැ... තමන්ගේ රට නොවන හින්ද.. තමන්ගේ රටේ උනත් ඕනෑම ප්‍රශ්නයක් ලොකු කරගෙන ජිවිතේ කරුමයක් කියල විඳවන්නත් පුළුවන් නැත්නම් ඔන්න ඔහේ තියෙන විදියට කාල බිලා ආතල් එකේ ඉන්නත් පුළුවන් ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. වෙනස්ම කෝණයකින් බලාපු ප්‍රති-අදහසක්. .අනාදිමත් කාලයක් ලාංකිකයා පුරුදුවෙලා හිටියෙ ඒ ක්‍රමයට තමා. දෙන දෙයක් කාලා වැටිලා ඉන්න. නරකම අදහසකුත් නෙමෙයි, ආතතියක් නැති "හිතූමතේ ජීවිතේ."මෙයට කිට්ටුවෙන් යන අදහසක්, වෙන තැනකත් දැක්කා. වැල යන අතට මැස්ස ගහන්න කියලා, හැබැයි වැලට අත තියන්න එපා කියල තමා කිව්වෙ. ඒ තර්කයට අනුව, මෙහෙ රස්සා හිඟවෙනකොට රට රස්සා ඇතිවුනා. බස්සො රට ගියා. සමහරු බෝට්ටුවෙනුත් ගියා.

      "ඇති-හැකි" අයට ඔය කියන ජීවන රටාව ප්‍රශ්ණයක් නැති බව, මං උපුටාගත් දෙවන කමෙන්ටුවෙන් පේනවා ඒත් සමාජයේ පහල ස්ථරවල අයට ඒක ගැලපුනයි කියල හිතෙනවද? නැත්නම් සමාජයේ පහල ස්ථරයට ඒකෙ "මිල" ගෙවන්න වුනා වත්ද? වෙනස් වන ලෝකය, ජන-ගහන පිපිරුම, ජනවාර්ගික මතභේද. අලි-මිනිස් සටන. පරිසර සංරක්ෂණය වගේ දේවල් මේකට ආදේශ වෙන්නෙ මොන ආකාරයකටද? සමාවෙන්න බස්සො දන්නෙ ප්‍රශ්ණ අහන්න විතරයි, උන් ගාව උත්තර නෑ.

      Delete
    2. බස්සා, මම කිව්වේ මගේ විදිය ගැන. සමස්ත රට හැදීම ගැන කියද්දී ඕක වලංගු නැහැ තමා නමුත් රටේ බහුතරයකගේ මතය රට වැඩක් නැහැ කියන එක වුනාම කාටවත් හදන්න උවමනාවක් නැති වෙනවා . හැමෝම බලන්නේ පැනල යන්න... හැබැයි එහෙම නැතුව රටේ දියුණු වෙන්න සහ රට දියුණු කරන්න තනි තනි පුද්ගලයට කරන්න පුළුවන් දේවල් ගැන අපි හිතන්නේ නැහැ..

      ඇති හැකි අය සහ නැති බැරි කියන කොටස් හැම රටකම ඉන්නවනේ.. නමුත් මම හිතන්නේ ලංකාවෙත් දැන් මිනිස්සුන්ගේ ආදායම් සාපේක්ෂව වැඩියි. නමුත් අපිට තියෙන ප්‍රශ්නයක් තමා අපි අපේ ආදායමට සාපේක්ෂව කරන්න හදන වැඩ ගැලපෙන්නේ නැහැ කියන එක ..

      මේවා ඉතින් මට හිතෙන දේවල් ...

      උදාහරණයක් විදියට මම ජිවත් වෙන මැලේසියාවේ මිනිස්සු රුපියල් ලක්ෂ 10ක් දීලා බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්නවා කියන දේ ගැන හිතන්නේ ගොඩක් ලොකු වැඩක් විදියට.. ඔවුන්ගේ සාමාන්‍ය ආදායම මාසෙකට රුපියල් ලක්ෂ 1-2ක් වගේ වෙනවා. නමුත් මේ රටේ ලක්ෂ 10කට අඩුවෙන් ගන්න පරණ කාර් ඕනේ තරම් තියෙන නිසා ඔවුන් ගොඩක් වෙලාවට ඒ වගේ ඔප්ෂන් වලට යනවා. මම මේ කියන්නේ මැලේසියාවේ පහල මධ්‍යමපාන්තික වගේ අය ගැන.

      නමුත් ලංකාවේ රුපියල් ලක්ෂයක් ආදායම් ලැබෙන හැම කෙනාටම වගේ ඕනේ ලක්ෂ 30-40ක වත් වාහනයක් ගන්න. ලංකාවේ වාහන මිල තේරුමක් නැතිව ඉහල ගිහින් තියෙන්නේ මිනිස්සුන්ගේ මේ ගතිය හින්ද කියල මට හිතෙන්නේ..

      ගෙවල් සම්බන්ධයෙනුත් එහෙමයි... තට්ටු දෙකක ගෙයක් නැත්නම් ජිවත් වෙන්න බැරි ගතියක් නේ දැන් ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ. නමුත් මේ රටේ මගේ යාලුවෝ ඉන්නවා ඔවුන් BMW එකක් සහ තවත් වාහනයක් පාවිච්චි කරමින් කාමර 3ක වගේ සාමාන්‍ය තනි තට්ටුවේ ගෙවල් වල ඉන්න. දරුවෝ තුන් දෙනෙක් එක්ක. ඔවුන්ට අනුව තට්ටු දෙකේ ලොකු බංගලා කියන්නේ සුඛෝපභෝගී දේවල් සහ ඔවුන්ට ඒවා එතරම් වැදගත් නැහැ.. ලංකාවේ ළමයි දෙන්නෙක් හදන ඕනෙම පවුලකට අඩුම තරමේ කාමර 5ක වත් ගෙයක් ඕනේ කියන ආකල්පේ තමා තියෙන්නේ...

      ගෙයක් දොරක් නැති මිනිස්සුගෙ ප්‍රශ්න විසඳන එක ආණ්ඩුවේ වගකීමක් තමා. නමුත් බහුතර මධ්‍යම පාන්තික මිනිස්සුන්ගේ ආකල්ප වල තියෙන ගැටලුවක් සමස්ත රටේම සිස්ටම් එක අවුල් වෙන්න හේතු වෙලා කියල හිතෙන්නේ නැද්ද ?

      [ජන-ගහන පිපිරුම, ජනවාර්ගික මතභේද. අලි-මිනිස් සටන. පරිසර සංරක්ෂණය වගේ දේවල් මේකට ආදේශ වෙන්නෙ මොන ආකාරයකටද?]

      අර කියපු ආකල්ප තියෙන බහුතරයක් මිනිස්සු මේ වගේ කාරණා ගැන සංවේදී වෙන්නේ අඩුවෙන් නේද ? රටේ බහුතරයක් මිනිස්සු කවුරු හරි දේශපාලකයෙක් මොකක් හරි කරනකම් ඉන්නවා මිසක් ඔය දේවල් ගැන කවදාවත් උනන්දු වෙනවද ?

      ඉහත කියපු ආකල්ප මටත් තියෙනවා සහ ඒවායේ තියෙන ගොං කම දැන් දැන් තේරෙන නිසා තමා මේව ලියවෙන්නේ හෙහ් හෙහ් ...

      Delete
    3. ඇත්ත, මේකට හේතුව අපේ වැරදි සමාජ ආකල්ප, නරක පොදු සමාජ සම්මත තමා, ණය වෙලා හරි ගිතෙල් තමා වළඳන්න ඕනෙ. මේ රැට්-රේස් එකට හේතුවත් ඒකම වෙන්න ඉඩ තියෙනවා. පාතාලය, කුඩු ජාවාරම සහ අනෙකුත් දූෂණ අතුරු ඵල. ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමටත්, කලාතුරකින් ලැබෙන අර්ථවත් සංවාදයකට ඉඩ ලබාදීම ගැනත් ස්තූතියි.

      මම දැනන් හිටියෙ නෑ පැතුම් ඉන්නෙ මැලේසියාවෙ කියලා. කාන්තාරෙට යන්න කලින් මාත් බෲනායි වල හිටියා, මීරි බෝඩර් එකට කිට්ටු අන්ඩුලාව් වලට නිතරම ආව ගියා.

      මම ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ "ලිංගුස්" තියෙන්නෙ එලිෆන්ට් හවුස් එකේ විතරක් බව. බෲනායි සුපර්මාකට් එකක පිලිපීන වෙළඳ සහායිකාවකගෙන් ඉල්ලුව ලිංගුස්. මේ මහගෙ නෑ කියලම කියනවා. මාත් ඇරියෙ නෑ, කණා අන්ධයට අලිය ගැන විස්තර කලා වගේ දුන්නා සම්පූර්ණ විස්තරයක්. බැරිම තැන චිකන් සොසෙජස් පැකට් එකක් පෙන්නල කිව්වා, ඒ වගේයි කියලා. ඒක කිව්ව විතරයි උන්දෑ " ආ.......චි.ක,,අ,,අ..අ..න්" කියල එබුවෙ නැතෑ සොසෙජස් පැකට් එක මයෙ ශොපින් බෑග් එකට, ඉතිං එදා බකුසු රාත්‍රි භෝජනයට "චි..ක..අ..අ..න්" තිබුනා :(

      Delete
    4. ඔයාලා දෙන්නම ඇයි, ලාංකික පුහු මාන්නේ ගැන අමතක කරන්නේ? ඒකනෙ අපේ ජාතික ධනය!

      Delete
    5. අපොයි අමතක කලේ නෑ. අපේ ප්‍රාජේ තුමා, අර උඩින්ම බෙදලා තියෙන්නෙ ලෙසටම :)

      Delete
    6. https://www.meatandco.co.uk/product/butchers-pork-sausage/

      https://www.urbandictionary.com/define.php?term=lingus

      Delete
  5. "අපේ හිතවත් බ්ලොග් රචක you-know-who මහතාට වැටිච්ච කමෙන්ටුවක් මේක:"

    Chinaman Style... :D

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව මිස නම්-ගම් අදාල වෙන්නෙ නෑ කියල හිතලයි එහෙම ලිව්වෙ. ඇයි අවුල්ද? 🤔

      Delete
    2. අවුල්ට අවුල් නැත්නම් මටනම් කිසි අවුලක් නෑ... :D

      චයිනාමන් පොත පුරාම ඔය ස්ටයිල් එකෙන් ලියවිච්ච ගොඩාක් තැන් තියනවා..මරු ශෛලියක් ඒක...

      Delete
  6. රටවල් පහ හයකට ගොඩ වැදී ඇතිමුත් එක රටක මාසයක් පමන කලක් සිටියේ කැන්ගරු දේශයේ. මා එහි සිට ලංකාවට පැමිණියේ "මගේ ඊළඟ පරම්පරාව හෝ; මිනිසුන් එකිනෙකාට ගරු කරන සමාජයක, රටක ජීවත් කරවිය යුතුය!" යන සිතුවිල්ල හිතේ දරාගෙන. මා දකින ලෙසට අපේ රටට අවශ්‍ය වන්නේ "විනය" කියාය. මෙය හමුදාවක ඇති විනය හෝ කිසියම් ආගමික සමාජයක තියෙන විනය ලෙස ලගු කොට ගත යුතු නැහැ. සමාජමය වශයෙන්, දේශ්පාලනමය වශයෙන්, අර්ථිකමය වශයෙන්, පාරිසරික බවෙන් මේ හැම දේ තුලම විනය පිරිහී ඇති බවක් මා දකිමි. ඔබ හිතන්න දේශපාලන කණ්ඩායමක් හෝ නායකයෙකු බලයට පැමිනෙන්නේම බොරු කියා නොවේද? ඔහු ඊට පෙර කිහිප වතාවක්ම ජනතාව රවටා තිබුනත් එය තේරුම් ගැනීමට නොහැකි වීමට ඇති ප්‍රධාන බාධකය කුමක්ද? විනයක් නැති ජන මාධ්‍ය විසින් ජනතාව මුලා කිරීම නේද?
    රටක් යනු භූගෝලීය වටාපිටාව, පරිසරය, දෙශගුණය, ගංගා ඇල දොළ නම් මේ රටට යම් වටිනාකමක් තිබිය හැකිය. එහෙත් පාලන තන්ත්‍රය, ආණ්ඩුක්‍රමය, අධිකරණය, සිවිල් බලතල, සංස්කෘථිය ඔවැනි කාරණා තුලින් බැලුව විට අයි. එම්. ආර්. ඒ ඊරියගොල්ල ඒකාලෙම මැරුණු එකමයි කාරිය. නැතිනම් උන්නැහැ මැරෙන්නට තිබුනේ මගේ අතින්. එයා තමයි "ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි - සිරි ලංකාවයි . . " සිංදුව ලිව්ව කෙනා~

    ReplyDelete
    Replies
    1. හ්ම්....හිතන්න දෙයක් තියෙන කමෙන්ටුවක්. ඒත් ප්‍රශ්ණෙ අපට පේනවට වඩා සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා. මම නිවැරදි නොවෙන්නත් පුළුවනි. ඒත් පාලකයො වගේම හුදී ජනතාවත් මේකෙ කොටස් කාරයො කියල මට හිතෙනවා. වෙනසක් වෙනව නං, ඒක ඉහල තැනකිබන් පටන් ගත යුතුයි කියන එකට එකඟ විය හැකි නමුත්, එහෙම වෙන පාටක් නෑ. අනික් අතට, දේශපාලන පක්ෂ වලට පැවැත්මක් තිබීමට නම්, ජනතාව ඉල්ලන දේ දෙන්න ඕනෙ. සමාජයක ආකල්ප වෙනස් කරන්න ලේසි නැති බව, මට වැටහෙනවා. පත්තර, රේඩියෝ, ටීවී යුගය පහු කරලා, කෙලින්ම අපට මේවා සාකච්චා කරන්න පුළුවන් වටපිටාවක් තියෙන නිසා, යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියල මට හිතෙනවා.

      දීර්ඝ කමෙන්ටුවට ස්තූතියි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code