Oct 27, 2025

අතරමං වෙමු අපි ඝණ වනන්තරේ

Jun 2023 හිදී, බෙල්ජියම් සංචාරක සෙලීන් ක්‍රෙමර් (Céline Cremer), වයඹදිග ටැස්මේනියාවේ පිහිටි ෆිලෝසොෆර් ෆෝල්ස් (Philosopher Falls) මංපෙතේ ගමන් ආරම්භ කිරීමෙන් පසු අතුරුදහන් වූවාය. පැයක් ඇතුළත ආපසු පැමිණීමට තිබූ ඇගේ ගමන, වසර දෙකකට වැඩි අදටත් නොවිසිඳුන අභිරහසක්.


ටැස්මේනියන් වනාන්තර සෙල්ලමක් නං නෙමෙයි. මේ ඒ පැත්තෙ කලින් ගිය ජෝඩුවකගෙ කමෙන්ට් එකක්:

අපි බ්‍රිස්බේන්, බෲක්ෆීල්ඩ් වල තියෙන කැලෑ පාරක ඇවිදින්න ගියා. අපි මේ ඇවිදීම මීට කලිනුත් කරලා තියෙනවා, නමුත් මේ වතාවේ අනෙක් පැත්තෙන් පටන් ගන්න තීරණය කළා.අපිට තැනිතලා කොටසක් හම්බවෙද්දී මගේ මහත්තයාට හිතුණා ටිකක් දුවන්න, ඒ නිසා එයා ඉස්සරහට දිව්වා. පාර දෙකට බෙදෙන තැනට ආවම, මම එකපාරටම හිතුනා, එයා ගියේ ලොකු වනාන්තර ප්‍රදේශයකට යන වැරදි පාරෙ කියලා. ඒ තමයි මවුන්ට් නෙබෝ (Mount Nebo). මම කලබල වෙන්න පටන් ගත්තා, නමුත් එයා හරි පාරේ ගියා වෙන්න පුළුවන් කියලා හිතලා මම දිගටම ඇවිද්දා.

මොබයිල් සංඥා තිබුණේ නැහැ, වතුර බෝතල් තිබුණේ මගේ ළඟ, ඒවගේම එදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් වුණා. මම මුළු වටේම ඇවිදලා ඉවර වුණත් මගේ මහත්තයා පේන්න හිටියේ නැහැ. මම තවත් පැයක් බලාගෙන ඉඳලා ආයෙත් හොයන්න ගියා. සංඥාවක් හොයාගන්න මට පාරෙන් එළියට වාහනේ එලවගෙන යන්න සිද්ධ වුණා, ඒත් එයාටත් සංඥා තිබිලා නැහැ. පැය 2කට පස්සේ, එයාට සංඥාවක් ලැබිලා මට කිව්වා එයාට පාර වැරදිලා කියලා. එයා පාරක් දැකලා තිබුණා, නමුත් ආයෙත් කැලෑව ඇතුළට ගිහින් ආයෙත් අතරමං වෙලා.

මම එයාට කිව්වා ආපහු පාරට හැරිලා යන වාහනයකට අත දාලා නවත්වන්න කියලා. විශ්වාස කරන්න, අතරමං වෙලා කියලා දැනගත්තම බැටරිය ඉතුරු කරගන්නවා වෙනුවට, මේ බූරුවා එයා වෙලාව ගතකරන්න පොඩ්කාස්ට් එකකට ඇහුම්කන් දීලා. සුළු මොහොතකින් එයාගේ ෆෝන් එක මලා. දැන් අතුරුදහන් වෙලා පැය 5ක්, හොඳටම අඳුරු වෙන්නත් පටන් ගත්ත නිසා මම පොලීසියට කතා කළා. තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා.

ඒක මගේ ජීවිතේ විනාශකාරීම සහ දීර්ඝතම පැය 6 ක් වුණා. දැන් උන්දැට, වනාන්තරයක් ළඟටවත් යන්න තහනම්. 

Manual Power Supply Camping Lighter Hand Generator USB Charger Emergency Power

෴++++++++++++++++++++++++++++෴

මම නං සංචාරෙ යන්නේ ලඟම තියන කොන්ක්‍රීට් වනාන්තරේ පමණය. එහෙම කන්ට යමක් හොයා ගන්න ගිය ලඟ දොහක, සුද්දෙකුට මල පැන්නේය. මගේ ඉහේ සිය පාදන්තය දක්වා බලා ඌ ඇසුවේ "ඇයි කොට කලසමක් ඇඳන් ආවේ?" කියලාය. ෂොපින් යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවාද, නැහ්නම් "සෙල්සියස් අංශක 4 ට බැහැලා තියෙද්දී, තෝ නිකං අපට කැටයං දාන්න එන්න එපා" වගේ හිතුනාද දන්නේ නැත. "ඉතිං ඕයි කකුල්දෙක මගේ නෙව?" වගේ මෝඩ කතාවක් කියන්න හිතුනත් මම කලේ විරිත්තීම විතරමය. සුද්දා නිවැරදිය. මම අවස්ථාවට ගැලපෙන ලෙස සූදානම් වී සිටියේ නැත.

ට්රූ ඉස්ටෝරි 🙏

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

15 comments:

  1. ජීවිතේ හැම දෙයක්ම රිස්ක් එකක්. පාරෙ යන එක වුනත් රිස්ක් එකක්. රිස්ක් එකක් නොගෙන අපට ජීවත් වෙන්න බැහැ. මමත් ඕන තරම් රිස්ක් අරගෙන හොම්බෙන් ගිය අවස්ථාත් තිබ්බා. මේ ලිපියේ අදහස තරුණ කාලෙ අතපය හකුලාගෙන ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. අවස්ථාව අවතක්සේරු කරන්නෙ නැතුව, පොඩියට හරි රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න කියන එකයි කියන්න ඕනෙ වුනේ.

    GPS, සෙල් පෝන්, සැටලයිට් SOS අද දවසෙ වුනත් කෙනෙක් අතුරුදහන් වෙන්න හැකියාව තියනවා. මං මුලා වෙලා පැනික් වුනාම, ලොජිකල් තීරණ ගන්න තියන හැකියාව නැති වෙනවා. ස'වයිවල් ස්කිල් නැත්නම්, ඕනම කරන අඩුම-කුඩුම නැතුව මෙහෙම ගමන් යෑම "ඩෙත් විෂ්" එකක් නෙමෙයිද? කියන සැකය මට තියනවා.

    ReplyDelete
    Replies
    1. අර කොට කලිසම් කතාව ඔහේගේ එකක්ද ? ඇයි මනුස්සයෝ අංශක හතරට අඩුවෙන් බැස්සම ඔය වගේ මෝඩ දේවල් හිතෙන්නේ . අම්ම ළඟ හිටියනම් ටොක්කක් අනී

      Delete
    2. මගේ එකක් තමයි. එලියෙ ඉන්න වුනේ මිනිත්තු ගාණක් නිසාත්, වින්ඩ් චිල් එකක් නැති නිසාත් සීතලක් දැණුනෙ නෑ. සුද්දයි, ඔබයි හරි, මම වැරදියි. ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ.

      Delete
  2. සෙලීන් කාරය ටැස්මේනියන් ඩෙවිල් කෙනෙක් බැඳගෙන ඔය ආතල් එකේ ඉන්නව කියන්නෙ.
    බෙයා ග්‍රිල්ස් ගෙ වීඩියෝ බලපු එකක්නං னයෙක් මරාගෙන කාල හරි ජීවිතේ ගැටගහගනී ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. කාර් පාක් එකේ ඉඳන් වැඩි දුරක් නෑලු. පැහැදිලි අඩි පාරක් තියනවලු. ඒත් ඔතනදි අතුරුදහන් වෙච්ච තව අය ඉන්නවලු. ගමන ලේසියි, ඇල්ල ලස්සනයි කිව්වට, නොපෙනෙන අනතුරු සෑහෙන තියෙන පාටයි. බොලාගෙ නෑයොත් ලෙසටම ඉන්නවලු. බොහෝ තැන්වල සිග්නල් නෑලු. බලන්න යන්න ඉස්සෙල්ලා පොතේ ලියන පාර්ක් රේන්ජර් සර්විස් එහෙම නෑ කියලයි පෙන්නෙ.

      සෙල්පෝන් ඩේටා අනුව පේනවා, ඇල්ල බලල විතරක් නැවතිලා නෑ, එතනින් එහාට කැලේ රිංගලා. ආධුනික සංචාරකයෙක් විදිහට, කිසිම සූදානමක් නැතුව තනියම ඔහොම යෑම නිර්භීතකමද, මෝඩකමද මන්දා?

      Delete
  3. //තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා//
    එහෙම වෙලත් ඒ බූරුව අතුරුදන් උනේ (කළේ) නැත එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම අය ඉන්නව, අනතුරුදායක වැඩ කරලා කික් එකක් ගන්න. හරි වැරදි කියන්න නං දන්නෙ නෑ, තර්ක-ප්‍රතිතර්ක දෙකම තියන නිසා. තමන්ගෙ මට්ටං තම්මැට්ටන් කියනවනෙ?

      Delete
  4. අපි (බිරින්දයි මමයි බැඳලා හිටපු නැති කාලේ ) එංගලන්තේ Old Man of Coniston කන්ද නැග්ග . සමර් එකට යන්තන් ලඟයි . ඒත් හිම තියනව . අඩි 2700 විතර . මිනිස්සු යන පාර දිගේ යමු කියල ගියා මැප් එකක් වත් නැහැ . ඒ දවස් වල ගුගල් මැප් වත් නැහැ . උඩට යන කපට තේරුනේ පාරවල් නැහැඅඩි පාරවල් එළුවන්ගේ වෙන්නත් පුලුවන් කියා . අතරමන් වුනා . රෑ වෙන්න ලඟයි .මොබයිල් වල මැප් නැහැ . ඒ හරියේ කවරේජ් නැහැ. අඩිය වැරදුනොත් ලිස්සල කොහේ වැටෙයිද දන්නේ නැහැ . වාසනාවට සුද්දෙක් හම්බ උනා යුනි එකක ප්‍රොෆෙසර් කෙනෙක් . ඉස්සෙල්ල අපට හොඳටම බැනල ඊට පස්සේ පහලට අරගෙන ආවා . (පොර රෑ නයිටට සෙට් වෙනවා ටෙන්ට් එක්කා . පොරට ඒකත් නැති වුනා ) මැප් නැතිව කවදාවත් යන්න එපා කීව . අදටත් මැප් එකක් නැතිව කිසිම හයික් එකක් යන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම වගේ, ජීවිතේ යම් දවසක, ඔය වගේම නූනත් සමාන කතාවක් තියනවා. වෙලාව හොඳ නිසා අපි බේරුනා, සෙලීන්ගෙ කතාව මාරාන්තික වුනා. ආන්න ඒකයි වෙනස.

      ඒත් ලෝකෙ වටේ තනියෙන් ඇවිදින්න යනවා නං, ඔයිට වැඩිය ලෑස්ති වෙන්න තිබුනා කියල හිතෙනවා. කෝල් කරලා කාව හරි දැනුවත් කරන්න තිබ්බා සෙල් කවරේජ් නැති කැලෑවට යන්න ඉස්සෙල්ලා. හයික් ට්‍රේල් එකෙන් පිට කැලේට රිංගුවෙ, මාරයා කතා කරලද මන්දා?

      ඉතා පහසුයි, විනෝදාත්මකයි වගේ පේන නුපුරුදු පරිසරයක්, එක වැරදි නිගමනයකින් මර උගුලක් වෙන හැටි? 🤔☹️සුද්ද තමා ඔයාලගෙ ගාඩියන් ඒන්ජල්. ඔහොම කැලේ ටෙන්ට් ගහගෙන ආතල් ගන්නෙ, බාගදා හිටපු කමාන්ඩෝ කෙනෙක් වෙන්නත් ඇති.

      Delete
  5. අපොයි....! " වසන්ත මල් ගොමුවේ " මිසක් ඝන වනන්තරේ අතරමං වෙන්ට බයයි නෙව. හැබැයි ඔය උන්දැ ලා ඉන්නවා නේද...කොයි රටේ උන්නත් ඔහොමම තමයි

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අත්දැකීමෙන් කිව්ව කතාවක්ද මන්දා? 😁

      Delete
  6. අතරමං උනාද කැමැත්තෙන් වහන් උනාද කියලා නැතිවුණ අයම තමයි දන්නේ. මහා වනාන්තර කොන්ක්‍රීට් පුරවර විතරක් නෙමෙයි දැන් අපි ඩිජිටල් අවකාශයේත් මන්මුලාවෙලා ඉන්නේ . සමහරු කැමැත්තෙන්ම. ඔය කියන මහා වනාන්තර වල නම් ගොඩක් අය කැමැත්තෙන්ම තමයි. ජපානයේත් තියනවනේ ඔය වගේ කැලයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒකත් ඇත්ත. Aokigahara Forest නේද? ඒ කැලෑවට "Suicide Forest", "Cursed Forest" කියලත් කියනවලු. මේ ටැස්මේයානු කැලෑවෙත්, අඩිපාරෙන් ඉවත් වුනාම, එහෙම අඳුරු, මුසප්පේන්තු ගතියක් තියනවා. දින හතරකින් ආපහු මෙල්බර්න් යන්න සෙලීන් බුක් කරල තිබ්බ ෆෙරී බෝට්ටුවෙ නම " Spirit of Tasmania" වෙච්ච එක දෛවයේ සරදමක්ද මන්දා? කැමැත්තෙන් සියදිවි නසාගත්තා කියල හිතන්න අමාරු, මොබයිල්,gps ඩේටා අනුව, අන්තිමට ලඟම කන්ද මුදුනට ගිහින් තියන බව පේන නිසයි.

      අපි කොන්ක්‍රීට් පුරවර ,ඩිජිටල් අවකාශයේ අතරමං වෙන කතාව ඇත්ත. එකම වෙනස කන්න, බොන්න නැතුව නොමැරෙන එක විතරයි. ඒ එක්කම තාක්ෂණයට ඇති ඇබ්බැහිය තව කාරණයක්. ඉස්සර නාවිකයො, කාන්තාර ගැල්කරුවො විතරක් නෙමෙයි මෑත ඉතිහාසයේ මූදු ගිය මසුන් මරන්නො පවා දැණ සිටි තරු බලා පාර හොයාගන්න දැණුම දැන් අභාවයට ගිහින්. මොනව කරන්නද අනේ කාලේ, (ඩිජිටල්) වනේ වාසේ!

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code