Aug 10, 2023

බුබුලක ජීවත්වීම වරදක්ද?

Bubble life -cat style
ලෝකයේ සිටින සෑම කෙනෙකුම "බුබුලක්"  ඇත. එකම වෙනස වන්නේ එම බුබුලේ නිර්වචනය, ප්‍රමාණය සහ සංයුතියයි. සමහර අයගේ බුබුලු විශාලයි. සමහර ඒවා කුඩා ය. සමහර ඒවා අන් අයගේ බුබුලු වලට වඩා වෙනස් ය, සමහර ඒවා ඉතා ප්‍රාථමික ය. නමුත් අපි හැමෝම විටින්, විට මේ බුබුලු වල ජීවත් වන්නෙමු. මටද "බුබුලක්" දෙකක් ඇති නිසා,  මට අන් අයගේ "බුබුලු ජීවිත" ගැන අවුලක් නැත. 


ඉන්ටනෙට් බුබුල


වැඩි හරියක් "එක රෑනේ පක්සීන්" ඉන්නා ඉන්ටනෙට් බුබුලේදී පක්සියා, නෝ-නේම්, නෝ-ෆේස් නෝ-නම්බර් මූකලං බස්සාය. බස්සාගේ ඇනෝනිමස් භාවය ගැන, එකෙක් දෙන්නෙක් බකට් ඇද්ද නමුත්, පක්සියා ඒවාට සැලුනේ නැත. 

මා තවදුරටත් ඉන්ටනෙට් බුබුලේ රැඳී සිටින්නේ, මා තවමත් එයට කැමති නිසාය.  මා නොදන්නාදේ , ඔබ දන්නා නිසාය. දැණුමැත්තෝ එයට "සාමූහික බුද්ධිය"(collective intelligence) කියා කියති. නමුත්, මේ රංචු ගැසීමේ ප්‍රතිඵල, සැමවිටම ධනාත්මක වන්නේ යැයි සිතීම මුලාවකි. හේතුව මේ  "රංචු මානසිකත්වය"(Herd mentality/ group thinking) නිසා එන "සාමූහික මෝඩකමේ" බොරු වලවල්‍වල වැටීමේ සම්භාව්‍යතාවයක් ඇති බැවිනි.



නිදිගේ බුබුලෙන් "සැනසුම" පැදුරටත් නොකියා මාරු වී ඇත. කියවන්නට තියෙන පොත් රාක්කයට වී බුකවා ගෙන සිටින බවත්, වෙනදා සිතට සතුට ගෙනා ගීත, චිත්‍රපට අද ඔහුට නියවන බවත් ලියා ඇත. නිදිගේ පසුගිය පෝස්ට් කීපය තුල, වරින් වර කියවුන මවගේ සෞඛ්‍ය පිරිහීම, අපගේ සිතෙත් කණගාටුවක් මෙන්ම බියක් ඇති නොකලා යැයි කීව නොහැකිය. 


රුසියන් බුබුල


නගරයක්, රටක් වුවත් බුබුලක් ලෙස සැලකිය හැක. රුසියන් බුබුලේ ජීවත්වන පුටියා, යුක්‍රේනයේ ධාන්‍යාගාර වලට අහස් ගුණ්ඩු අරින්නේ, රිලවුන් නාසීන් එලවන්නය.  සමහරු කියන්නේ, උන්නැහේගේ "බකට් ලිස්ට්" එකේ තුන් රුසියාවම එක් සේසත් කර, ඔටුණු පළඳින සිහිනයක් තියන බවයි. ඒත් සමහරු කිව්වේ, මේක ධනවාදී කුමණ්ත්‍රනයක් බවයි.බුබුලේ රුස්සන්ට, පුටියා අධ්‍යාත්මික නායකයාය. යුක්‍රේනයට නෙලීම "ඉස්පැසල් මිලිටරි ඔපරේෂොන්‍" ය. ක්‍රිමියන් පාලමට ගැසීම "ත්‍රස්තවාදී " ක්‍රියාවක් ය. බුබුලේ බලය එසේය.චීනාගේ වවුල් වසංගතයෙන් බැටකා, යාන්තං පණ බේරාගත් අපගේ බත්පතට කෙලෙව්වාට, අපි නං කලේ පුටියාගේ මෑණියන්ට පිං අනුමෝදං කරවපු එකය.

පාලම් බුබුල


පාලම් බුබුලේ විසේසත්වය, කවදාවත් පාලමෙන් එගොඩ නොවීමය. පාලමේ ඉන්නාතාක් කල් අලියා ගොඩය. අලියා "කල දුටු කල වල ඉස ගැනීමේ" කලාවේ පිකාසෝය. අලියා නිසා කපුටාත්, මයිනාත්, ඩේසි ආච්චිත් ගොඩය. ඒ නිසා ඩිමෙන්ෂියාවෙන් පෙලෙන රටවැසියාත් ගොඩය.

හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ ඇපත් නැතේ
හෙල ගැඹුරුයි... පුත නොබලන්

අලියා බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ

ඔය කොයි බුබුලත් අන්තිමට ඩාම් වෙනවා ඩූම් වෙනවා - අප්පච්චී

මගේ සතුටු බුබුල


මේ බුබුලේ අන්තර්ගතය කලින්, කලට වෙනස් වන නමුත්, මේ දවස්වල එහි ඇත්තේ 1940 එංගලන්තයයි. Cobblestone ගල් ඇල්ලූ පටු පාරවල්, සන්ග්ලාස් දැමූ අස්පයින් සහිත කරත්ත. ගෑස් පහන් වීදී සිතේ ඇති කරවන්නේ, "හැරී පොටර්" මායා චමත්කාරයකි. මේ කතාව, නැවත ප්‍රතිනිර්මාණයක් කල එකක් වුවත්,  "ඓතිහාසික නිරවද්‍යතාවය" පරිකල්පන බුබුලකට අත්‍යාවශ්‍යම සාධකයක් නොවේ.


සුවපහසු විසිත්ත කාමරය, සැබෑ ගිණි උඳුන මත නිරන්තරයන් පැසෙන තේ පෝච්චිය සහ ඉංග්‍රීසී පතරාසයත්  මෙහිදී ඔබට දැක ගන්නට හැකිවනු ඇත. මෙහි ඇති යැයි පැවසෙන, යෝක්ෂයර් ඇක්සන්ට් එක ගැන මට නුහුරු බවක් දැණුනේම නැත. හොඳින් නිරීක්ෂණය කලොත්, එදවස ඇන්ටීක් නමුත් ප්‍රායෝගික රෙදි සෝදන උපකරණ සහ ක්‍රමවේද බලා ගන්නට අවස්ථාවක් ලැබෙනු ඇත. 



 
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

35 comments:

  1. Replies
    1. 👌🙏😊
      මේක ස්පෑම් එකේ තිබිල ගොඩ ගත්තෙ. බුදු අප්පේ ස්පෑම් වලට දාලා තිබ්බ කමෙන්ට් තොගේ. බ්ලොගර් ස්පෑම් ඇල්ගොරිතම් එක තනිකරම පිස්සු කෙලිනවා. මගේම කමෙන්ටුත් ස්පෑම් දාලා කියහංකො.😂😮🤣

      Delete
  2. ඩීජේ බක අප්පු රනිල්ගේ බුබුලේ නේද දැන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි.කොහොමද දැණගත්තෙ? මේ කිතුල් බොඩයක් කන ගමන් ඉන්නෙ. 😂😉🦉

      Delete
  3. අපට තියෙන බුබුල ඉතිං ලංකාව නමැති ලබ්බ තමයි.

    මාව අඳුරනවනෙ.
    මම னாග මැණික්

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව? ලඟදී නාග ලෝකෙන් මුකුත් ගෙනාවෙ නැත්ද?😉

      Delete
  4. The Sound of Silence සිංදුව මං ඇහුවේ The Graduate (1967) ෆිලුමෙන්. Dustinගෙ මුල් කාලේ ෆිලුම්ක් උනත් ඒකට මේ සිංදුව හොඳවැඩි කියලයි මට හිතෙන්නෙ.
    මේකෙන් remake එකක් කරා නේ ක්ලැරන්ස් විජේවර්ධනත්.

    ReplyDelete
    Replies
    1. සේනක බටගොඩගෙ සිංදුව ලස්සනයි. ක්ලැරන්ස් විජේවර්ධන රීමේක් එකක් කල බව දැණන් හිටියෙ නෑ. The Graduate එහෙන් මෙහෙන් කෑලි බැලුව මිසක්, සම්පූර්ණයෙන් බලල නෑ.

      Delete
    2. remake කියන්නත් බෑ. සොරි. සංගීතය කණ්ඩයෙන් ආභාෂයක් අරන් වගේ සීන් එකක් නේ......
      https://www.youtube.com/watch?v=zWkGY7sGrVo

      Delete
    3. ආභාෂයක් ලැබීම වරදක් ලෙස මම දකින්නෙ නෑ. ඒ අතින්, බටගොඩ ක්ලැරන්ස්ට වැඩිය ක්‍රියේටිව් විදිහට එය කරල තියනවා කියල හිතුනා.🤔

      මම බටගොඩගෙ"අනන්තයට" සින්දුවත් මේකට එබුවා.😊

      Delete
  5. මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා කටුනායක හෝටලයක් දැම්මා.
    https://web.facebook.com/profile.php?id=100094452199512

    3 Flavours Restaurant
    කටුනායක සමනල කියන අච්චු කන්තෝරුව ලඟ බාර් එකට විරුද්ධ පැත්තේ හෝටලේ තියෙන්නේ. වායුසමිකරණය කර ඇත දිවා රාත්‍රී විවෘතයි. විශේෂ කේරල වට්ටෝරුවකින් සෑදූ බුරියානි වර්ගයක් ඇත.
    දන්න අයට මේ ගැන දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවට යන අය හමුවුනොත් කියන්නම්.

      Delete
  6. සයිමන් ගේ සින්දුව ඉස්සෙලම ඇහුවේ සිරි ලංකා ගුවන් විදුලියේ විජය කොරයා හරි කවුරුහරි දාන ඉංගිරිස් සින්දු වේලාවෙන්.
    රුසියන් බුබුල ගැන කියනවනම් එහෙම පින් අනුමෝදන් කොරන්නට හිතෙන්නේ බකුස්ස ඇමෙරිකන් බුබුලේ සිටින නිසාය. එහෙම යට ඇමෙරිකන් ඇත්තන් කරන අහමදේම හොඳය, අනිත් එවුන් කරන ඔක්කෝම නරකය. පුටියා භාවිතා කරන්නේ ඇමෙරිකන් කාරයන් හලපු පොතය. උන්ට හොඳනම් මං කලාම මොකද කියාය.

    ReplyDelete
    Replies
    1. මඳෑ ඔයින් ගියා. 🤣😉
      මම හිතුවෙ ඔයිට වඩා නෙලයි කියලයි. හැබැයි මේ තර්කයට කියන්නෙ "whataboutism" කියලයි.😉

      Delete
    2. මට පූටින් ගැනය කියල ලොකු හැඟීමක් නැහැ. හැබැයි මම රුස්ස රුස්සි දෙන්නට කැමතියි. ඒ ජාතිය හොඳයි . කිසිම දෙයක් කියන්නේ නැතිව 2016 දී ළමයි දෙන්නයි බිරිඳයි අරන් ගියේ වෙලේ තුන් දෙනාටම අල්ලලා ගිය රටක් ඒක. නිකන් පූර්ව නිගමන නැතිව පුළුවන් දවසක ගිහින් එන්න. ඔපන්හයිමර් බැලුව. ඇමෙරිකන් ෆිල්ම් කාරයන් නිතර කියන බොරු දෙක තුනක් ඔබ්බවා තිබුන. ඒ නිසාම එපා වුනා

      Delete
    3. එකඟයි. මාත් එක්ක වැඩ කලා රුස්සෙක්. හරිම ප්‍රියමනාප ආතල් බුවා. රුසියාව සහ රුස්සොන්ට මගේ කිසිම අකමැත්තක් නෑ. පුටියා එක්ක වුනත් කලින් මගේ අවුලක් තිබ්බෙ නෑ. යැංකි විනාස කරපු රුසියන් අභිමානය ආයෙත් ගෙනාවෙ පුටියා කියල යම් ගෞරවයකුත් තිබ්බා. ඒත් දැන්.....

      Delete
    4. තමන්ගේ රටයි ජර්මනියයි අතර ඩොලර් බිලියන් 9ක් වියදම් කරලා හදපු ගෑස්‌ නල මාර්ගය ගානක් නැතිව පුපුරවල දැම්මම නායකයෙක් හැටියට කොහොම හිතෙනවා ඇත්ද? එතකොට ඒකම 1985 න්‍යෂ්ටික බලාගාරයකට කළා කියල දැන ගත්තම කොහොම හිතෙනවා ඇත්ද? ඔය දෙකක් විතරයි ලිස්ට් එක තව දිගයි. දෙපැත්තම වැරදියි. මම දන්නේ එපමණයි.

      Delete
    5. //දෙපැත්තම වැරදියි//
      එකඟයි. ඒත් ඔය රැබිට් හෝල් එක සංසාරේ වගේ දිගයි අපේ හාංදුන්නේ.

      Delete
    6. බසු හංදුරුවන්ට කියන්න ඔය රැබිට් හෝල් එකේ තමන් ඉන්නව කියල කාටත් තේරෙන්නේ නැහැ නොව. ඒකනේ ප්‍රශ්නේ. ජර්මනිය කියන රට වඩා දියුණු වෙච්චි දෙපාරම ලෝක යුද්ධ දෙකක් ආව. ඒ නිසා ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය කියන රටවල් දෙකම ඒ රට ඊට වැඩිය දියුණු වෙනවට කැමැති නැහැ, හිතා ගන්න අමාරු ඇති. නමුත් අර පුපුරව දමපු තෙල් නලය හරහා ජර්මන් දෙවෙනි පිම්මට අවශ්‍ය ගෑස් අඩු ගානට ලැබෙන්න තිබ්බ. දැන් ඒක ඉවරයි. ජර්මන් ආර්ථිකය සෘණ වේගෙන යන්නේ දැන්. https://www.thelocal.de/20230615/germany-economic-will-shrink-in-2023-as-recession-tightens-grip#:~:text=Germany's%20IfW%20Kiel%20economic%20institute,interest%20rates%20curbed%20consumer%20demand.
      ඒ එකක්. නමුත් බටහිර සැබෑ සතුරා මම හිතන්නේ චීනය. ඒක තේරුම් ගන්න සෑහෙන වෙලා යයි. අනිත් කරනේ ගමෙන් ආපු එකෙකුට කෝචොක් කරාම ඌ පලි ගන්නවා. උන්ට හම්බ වෙන්න තියෙන යමක් හම්බ වෙන්නේ නැහැ කියල හිතුනොත් , ඒක අසාධාරණයි කියල හිතුනොත් උන් මරාගෙන මැරෙනවා. 1971 ලංකාවේ උනේ එකේ. 1988-89 උනේ ඒක . උතුරේ වැඩිපුරම දෙමළ ගැමි කොල්ලෝ තමයි සයනයිඩ් කරලත් එක්ක මරාගෙන මැරුණේ .නාගරික එවුන් අඩුවෙන් හිටියේ. පුටින් කියන්නේ ගමින් ආපු දුප්පත් එකෙක්. ඌව ගෙන්නලා රැජිනගේ අස්ප කරත්තේ පවා එක්කන් ගියා. හැබැයි ඌ හිතන්නේ ඌ ව රැවට්ටුව කියල. මට තියෙනවා අනුකම්පාවක්. අර 71. 88-89 උන්ට තියෙනවා වගේ. දැන් මම කොළඹ ආවහම කොළඹ විධිහට හැඩ ගැහුනා. මොස්කව් වලදී වොඩ්ක ගහන ගමන් ඒ විධිහට. ලන්ඩන් වලදී විස්කි වඩිය එක්ක ඒ විධිහට. නමුත් පුටින් වගේ උන් ඒ වගේ නම්‍යශීලි නැහැ. පුටීන් කාරයා මරාගෙන මැරෙන්න ලැහැස්තියි කියන එක මට හිතිලා හුඟක් කල්. මොකද ඌ හැඩ ගැහුනේ නැහැ. අනුකරණය කරන්න හැදුව විතරයි

      Delete
    7. අනර්ඝ විශ්ලේෂණයක්.

      අර ජර්මන් කතාව හරි කියල මටත් හිතෙනවා. මම මැද පෙරදිගදී "රේනර්" කියල ජර්මන් ඉන්ජෙක් එක්ක වැඩකලා. සුපිරි වැඩ්ඩෙක් වගේම නිහතමානී මනුස්සයා. ඒත් දවසක් කිව්වා " සමහරවිට, අපි අපෙන් ගත්දේ නැවත ලබාගත යුතුයි" කියලා. පුටියත් එහෙම හිතනවා ඇති. නම්‍යශීලි නැති කතාවත් ඇත්ත වෙන්න ඇහැකි.

      චීනය ගැන ඔබේ මතය හරි. චීනෙ ඔතෙන්ට ගෙනාවෙ බවහිර. ආදරේටම නෙවෙයි, ලාබෙට වැඩගන්න. ඒත් මට හිතෙන්නෙ, චීනගෙ යටිකූට්ටු වැඩ හෙලිවෙලා නිසයි කුඩම්මගෙ සැලකිලි. ඒ වාසිය ඉන්දියාවට සහ ආසියාතික රටවලට යනවා. මේ වැඩෙන් චීනට හොඳටම රිදෙනවා. ඒත් රුසියාව ඊට වෙනස්. ඔවුන්ට, දේශීය සම්පත් වගේම, ඔවුන්ගේම විකල්ප තාක්ෂණක් තියනවා.

      බින් ලාඩං වගේම අද ඉන්න පුටින් විතරක් නෙමෙයි ෂී-ජම්පින් පවා, අපේ යැංකි ලොකු අයියගෙ නිර්මාණ තමයි. පුටියා, නේටෝ ජොයින්ට් වෙන්නෙ ඇහැව්වාම ඒකට බකට් එක ඇදපු කතාවත් මතක් වෙනවා.

      KGB චීෆ් වෙලා හිටිය, යටිකූට්ටු ලෝක දේශපාලන පරතෙරටම දත්, පුටියා යැංකි උගුලේ අහුවෙලා, මේ යුද්ධෙට පැටලුනාද කියන එකත් ප්‍රශ්ණයක්. ඒත් එයින් යුද්ධය සහ එයින් වන හානිය සාධාරනීකරණය කරන්න කොහොමවත් බෑ.

      සමහර විට, අර " The Great Filter theory"( when intelligent life on a planet reaches a certain level of technology and complexity they wipe themselves out) කතාව ඇත්ත වෙනත් ඇති.

      Delete
  7. ඩීජී බක අප්පු
    මීයා මල අප්පු
    රනිල්ගේ කොලු අප්පු
    සිරිකොතේ ලගි අප්පු

    අඹතලේ හිටි අප්පු
    බත් කෑවේ නෑ අප්පු
    සුමනාට ඇරී අප්පු
    කෑවේ කඩල පරිප්පු

    ReplyDelete
    Replies
    1. ඇනෝ මී පෙත්තප්පු
      අප්පා ලිපිකරු වාප්පු
      කොටුවේ කඩ සාප්පු
      බාප්පගෙ නම මනප්පු

      Delete
  8. බැස්ටියං තුමා "පීකි බ්ලයින්ඩර්ස්" ෆෑන් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. පරිසරය නං මං කැමතිම කාළය වුනාට, gang violence කතා වලට කැමති නෑ. ඒත් අනිත් සාමකාමී British sitcoms වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.😊👌🦉

      Delete
  9. ඊයේ පාන්දර හම්බන්තොට ගියෙමී
    රෑ මැදියමේ අයෙත් ගෙදරට ආමී
    අද උදයේ හිටන් 'පව්' පලදී සිටිමී
    වතුරයි විදුලියයි නැති දවසක් ගෙවිමී

    තවමත් වතුර එන්නේ නැත මදිය ප්‍රෙෂර්
    විදුලිය නම් ඇත, චුට්ටක් ඒක කවර්
    මගෙ බුබුලෙත් ලියලනවා ආයෙ පවර්
    'පෙණ බුබුලකිය ජීවිතයම' හොඳට ෂුවර්!

    ReplyDelete
    Replies
    1. වතුරයි විදුලියයි එකටම නැති දවසක්
      දැනෙයි අපට ගෙව්වා වගේ පරණ පවක්
      නවතිනවා ජීවිතයම, වැඩත් හබක්
      තියෙන වෙලාවට නොදැනේ ඒකෙ වගක්

      Delete
  10. බස්සා- මමත් උවමනාවෙන්ම පොඩි බුබුලක් ඇතුලේ ඉන්න කෙනෙක්. සමීප මිත්‍රයෝ කීපදෙනෙක්, පවුලේ අය, මගේ ලියන- කියවන- අඳින කටයුතු වලින් ඒ බුබුල පිරිලා. හිතේ සහනය වෙනුවෙන් මම තෝරාගත්තා දේවල් ඒ. අඩුම ගානේ ආයෙත් ලංකාවට යන්නෙත් නැතිව ඉන්නයි මගේ නම් අදහස! being an introvert also helps.
    මං හිතන්නේ හැමෝම එහෙම 'තමන්ගේ' බුබුළු ප්‍රවේසමෙන් තියාගත්තොත් ලෝකේ බොහෝ ප්‍රශ්න අඩු වෙයි.
    Simon & Garfunkel ට මම මනාපයි. ඉස්සර දවසක මම එයාලගේ සින්දුවක් ට්‍රාන්ස්ලේට් කළා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බුබුලක ජීවිතේ සරලයි, කළමනාකරණය කරගන්න ලේසියි.

      හොයා ගත්තා 🦉👌😊
      https://hotchocolatedays.blogspot.com/search?q=Simon+%26+Garfunkel

      Delete
  11. අපිටනම් උදව්වට එන්නේ විදුලි බුබුල තමා ලොකු සර්.

    බුබුලක ජීවත්වන අපෙ රාජයාණනී පක්සි රාජයාණනී බකුසු රාජයාණනී

    ඔබගේ ඉහත ගීතයට පසුබිම් සංගීතය පහතින්
    https://youtu.be/NQvwgA0MY8M?t=1468

    Have a good day buddy!
    (You know who myself is.)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ඒක නියමයි. ස්තූතියි.👌🙏

      Delete
  12. බුබුලේ සටහන රසවත් වගේම අරුත්බරයි. බසු මහත්තයාට ලිපි පෙලක්ම ලියන්න පුළුවන්. පක්ෂ දේශපාලනය නෙවෙයි . අපි හැමෝම දේශපාලනික සත්වයෝ වෙන්නෙ ඔය බුබුළු ඇතුලේ තමයි. ඒ බුබුළු ඔබේ සිතුවිලි, රුචි අරුචිකම් , කැමති , අකැමැති දේ අනුව වෙනස් වෙනවා. අකමැති වුණත් සමහර වෙලාවට ඔය බුබුළු බිදගෙන ඇත්ත ලෝකයේ දේවල් එක්ක ගැටෙන්න වෙනවා. https://www.youtube.com/watch?v=0HEtV6l1jIk

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීඩියෝවට.
      https://www.youtube.com/watch?v=TEN-2uTi2c0

      Delete
  13. http://ambarox.blogspot.com/2023/08/blog-post.html?m=1

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code