Oct 24, 2011

මන්දාරමෙන් එහා..

අහන්නකො මේ සිංදුව. ලස්සනයි නේද?


                


මේ දවස් වල මෙහාට ටික, ටික වහිනව. අහස පුරාම වැහි බීරම. ඒත් ඉතිං වැඩට යන්න එපෑයැ. හුළඟට ඇඟේ හිරි ගඩු පිපෙනවා. ඉතිං කාවද මතක් වෙන්නෙ? දුම් දාන කෝපි කෝප්පෙයි, බැස්සිවයි තමා.
සිංදුවෙ මෙන්න මෙහෙම කියනවා:


මන්දාරමෙන් එහා..
දෙව් දුවක් ඇති බලා...
මට යන්න දෙන්න සියුමැලියේ...
සුවඳ සොය සොයා..
මේ රාත්‍රියම නිසංසලයි.. ඒත් ඔබ නිසා...


මට ඕක තේරෙන්නෙ නෑ නෙව ආයිබෝං, සියුමැලියා ලඟ ඉන්නව නං ආයි මොකටද අර දෙව්දුවක් හොයන්න යන්නෙ. බස්සට නං, අරලිය මලයි, සුදුපාට මීදුමයි, සියුමැලියයි ඔක්කොම එක්කෙනයි.


අර ගුල්ලා මට ජූජක බමුණයි කිව්වා. ඕං බලා ගන්ටකො බස්සව. එකක බස්සා බුදි.









අනිකෙ ඔලුවට පොලු පාරක් වැදිලා වගේ බලන් ඉන්නෙ,             මොනව දැකලද මන්දා?

Oct 23, 2011

පැණි හැලීම, මල් කැඩීම, කො‍ටු පැනීම සහ හැලප ගිලීම....

අනික් අය වගේම, බස්සත් කැමතියි, සංගීතෙ අහන්න, නැ‍ටුං බලන්න. ඔය 'මූන්ලයිට් සොනාටා" තරම් සම්භාවනීය එව්වා නොවුනාට මෙන්න මේ වගේ එව්වා:






 සමහරු නං මේකට කියන්නෙ, හැලප ගිලින්ට යනවා කියලයි. අනේ ආයිබෝං, යැංකි රටේ, අයර්ලන්තෙ කොයින්දෑ හැලප? හා, ඔහෙලම කියන්ට බලන්න, අනික් හැමෝටම , චිත්‍රපටි බලන්න, පොත් කියවන්න හොඳ නං , බස්සෙක් මේව බලන එකේ වැ‍රැද්ද මොකක්ද කියලා?

ටොමියට සිංදුවක්......

බල්ලො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්. හරිම අවංකයි. එයාල හිනා වෙන්නෙ නැට්ටෙන්.




නරි මොටා නං කියන්නෙ , බල්ලො කියන්නෙ හීලෑ වෙච්චි නරි කියලයි. මෙන්න ටොමියයි , නරි මොටයි අතර ඇති වෙච්චි කතාව.
(Reporting live from දොරකඩ ගහ by මූකලන් බස්සා)


"දැං බලපං ටොමියො, අපි දෙන්නගෙ පෙනුමම, හරියට සහොදරයො වගේ නොවැ"
" අනේ නිකං හිටිං, උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මං නං පිලිගන්නෙ නෑ. හා එහෙනං බුරල පෙන්නපං"
" බිරිල්ල පැත්තක තියමුකො, හා, හඳ දැක්කාම අපි දෙගොල්ලොම උඩු බුරන්නෙ නැද්ද?"
" අනේ නිකං හිටිං, උඹ මහ කපටියා. බල්ලො එහෙම නෑ, අවංකයි"
"හුහ්, මගේ කට. අවංකයි!. අර එතකොට හොරා කන්ට කුස්සියට පැනලා මැණිකගෙන් පොල් බෑ පාරක් කෑවෙ අවංක කමට වෙන්ටෑ. අර කව්ද බස්සටත් කිව්වෙ කපටිය කියලා"


"ඇත්තද මචං, ඔය ලොකු ලොකු සල්ලිකාර නෝනලා, බල්ලට 'ඩාලිං' කියනව කියන්නෙ. එයාල නිදාගන්නෙත් ඇඳේලු. එතකොට මහත්තයා බුදිය ගන්නෙ පාපිස්ස උඩද, මචෝ?"
" හප්පේ, එහෙම සැප විඳින්ට , ඉහල බලු කුලයක උපදින්න ඕනෙ, බං. මං දන්න එහෙම 'හයි-ක්ලාස්' බලු නකුටෙක් ඉන්නවා මැලිබන් හන්දියෙ. ඌට තියෙන්නෙ මේ 'හෝර්ලික්ස්' වගේ කිරිපිටි ජාතියක නමක්. අහල කියන්නං"


                         

Oct 22, 2011

වළි කිකිලියෙකුට පෙම්කල උගුඩුවෙක්..

ඔය අපේ අලි මඩුවෙ, රා මුට්ටියට හොම්බ දාන්ට එන උගුඩුවෙක් හිටියා. මට මේ ලඟදි දවසක් එයාව හම්බුවුනා නෙව දෙණියෙ කුඹුක ලඟදි, කරටි කැඩෙන්න ගහලා.

"ඇයි බොල උගුඩුවො, බොනවයි කියලා ඔහොමත් බොනවද? චැහ්, ‍තෝ නං මුළු උගුඩු පරම්පරාවටම අවනම්බුවක්"

"වැඩක් නෑ, බෂ්ෂො. ආයෙ අපෙ පරම්පරාවෙ ගන්න නම්බුවක් ඉතිරිවෙලා නෑ, ආං අරහෙ කස්ටිය ඒකෙ දැලි ගානවා"

" කව්ද බොල ඒකෙ දැලි ගාන්නෙ?"
"වෙන කව්ද, අර කස්ටිය තමා. අර කව්ද මලක් වගේ කෙනෙක් ගලක් වුනාලු. කාගෙද සායම ගියේ? මේ අහිංසක අපේ!"

" ආ, ඒකද. ඒක මේ උඹට කියපු එකක් නෙමෙයිනෙ. උගුඩුවා කියල කිව්වට ඒකා හෝතම්ඹුවෙක් නෙව"

"ආ, ඒක මිසක්. ඒත් මං බිව්වෙ වෙන දේකට, ගෙදර වලියකට"

" ඇයි උගුඩිච්චි එක්ක අදත් වලියක්ද?"

" බෂ්ෂො. එයා උගුඩිච්චියෙක් නෙමෙයි. එයා වලි කිකිළියෙක්"

" ඈ බොල උගුඩුවො, බොගේ ඔය ඔලුගෙඩිය අස්සෙ මොළේ කලඳක්වත් නැතුවද තමන්ට නොගැලපෙන මඟුලක් කරගත්තෙ? අනික,එහෙනං වැරද්දක් කියන්නත් බෑනෙ, එයා වළි කිකිලියෙක් නෙ?"

" මොනව කරන්නද බෂ්ෂො, ලබා උපන් හැටියට නෙව ඔබා වැනෙන්නෙ?"

" බොට නං හොඳටම වැඩියි, ඔබා නෙමෙයි බොල, බඹා"

" කව්ද ඔය බඹා, අනික ඇයි එයා වැනෙන්නෙ? එයත් සෑහෙන්න බොන කෙනෙක් වෙන්ටෑ? නැත්නම් එයාගෙ මහගෙත් වළි කිකිලියෙක් වත්ද?"

"බඹා කිව්වෙ මහා බ්‍රහ්මයා නෙව. ඒක නෙමයි , උඹ ඔය කිකිලිට දැපනෙ වැ‍ටුනෙ, මොනව දැකලද?

"එයා මාව දැක්ක මුල්ම දවසෙ වේලිච්ච කොල ගොඩේ 'බස,බස' ගාලා දිව්ව හැටියට තමා මට ආදරේ හිතුනෙ. බෂ්ෂො උඹට කියන්න, මට කාලම ඉන්න බැරි වැඩේ, අහල පහල නයි , මුගටි හෝතම්ඹුවො ඔක්කොම එයාට බැල්ම දාන එකටයි"

"වළිකිකිලියෙක් නං ලස්සනට දුවන්න ඇති තමා, කෙට එලදෙන දිව්වා වගේ. කිකිලි ලස්සන ඇති, ඒකයි අනික් උන් බැල්ම දාන්නෙ"

" ලස්සන නං තමා, එයා ඩයට් කරනවා, ජිම් එකටත් යනවා.ඒත් මම එයාට ආදරේ පෙන්නනව මඳිලු. මං කොයි වෙලාවෙ බැලුවත් බුදිලු. මං 'මෙව්ව' දෙනව මඳිලු. මට තියන ප්‍රශ්ණෙ, එයා " ඔය කවුරු මොනව දුන්නත් මං ආදරෙ ඔයාට විතරනෙ මයෙ කුක්කු පැටියෝ' කියලා කිව්වට, අනික් අය දෙන 'මෙව්වා' ලස්සනට බාර ගන්න එකටනෙ"

" ඒ කියන්නෙ බොට ඔය කිකිලිව ෂුවර් නෑ"

"අනේ මන්දා බෂ්ෂො, එහෙමමත් නෙමෙයි, කිකිලියො කියන්නෙ හරිම සංකීර්ණ සත්තු ජාතියක්..."

          

Oct 18, 2011

අමාවක.......

ඝණ මූකලානෙ රාත්‍රිය නිසසලයි. හිරිගඩු පිපෙන හීතල හුලඟක් හමාගෙන ගියා. සර, සර ගාලා මොකෙක්ද පැනලා දිව්වා. රට උගුඩුවෙක්, ඔය කාගෙ හරි කුණු බාල්දියක් පෙරලන්න යනවා ඇති.අහසෙ ලස්සනට හඳපායලා තිබුනා, ඒත් බස්සගෙ ලෝකෙට නං හඳ පායලා තිබුනෙ නෑ.

බැස්සි ස්ට්‍රයික් කරලා. නෝ කතා, නෝ සිනා. එයා එහෙම තමා, අහිංසකයි කීවාට වෙඩි තියන්නෙ සයිලන්සර් හයිකරපු එකකින්, සද්දෙ නෑ, ඒත් බොක්කටම වදිනවා. හිනාවෙලා, සැහැල්ලුවෙන් හිටියට බස්සගෙ ජීවිතේ හැමදාම රෝසමල් යහනාවක් වුනේ නෑ. ඒත් අතාරින්න නරකයි, අර කෝ‍ටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉන්න ඕනෙ. මොකා බැන්නත් කාරි නෑ, කට අරින්න නං එපා.

බස්සා ඉන්න දිහා රාත්‍රිය නිසසල නෑ, තොර‍තෝංචියක් නැතිව යන වාහනවල සද්දෙ."මේ යක්කු කොහෙ යනවද මන්දා?" බස්සට හිතුනා. නිදි නැති මේ නගරයේ, මැදියම් ‍රැයේ මේ අය යන්නෙ ‍රැකියාවට. සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ සටනක්. ඔන්න ඕක තමයි යතාර්ථය.

අපි හැමෝගෙම හීන තියනවා, ඒත් හීන ලෝකෙ ඉඳලා සැබෑ ලෝකෙට ආවාම ක‍ටුක යතාර්ථයට මූණ දෙන්න වෙනවා. ජීවිතේ සැප, දුක එකසේ විඳගන්න ලෑස්තිනං විතරයි අපේ හීන හැබෑකරගන්න පුළුවන් වෙන්නෙ, අපේ හීන වලට පැවත්මක් තියෙන්නෙ. පැදුරෙ ඉන්න අපට නං ආයෙ වැටෙන්න බිමක් නෑ, ඒත් ඊට උඩින් ඉන්න අයට ඒක, ඔය කියන තරම් ලේසි වෙයිද?


    

Oct 12, 2011

උගුඩුවාගේ ගීතය...




මේ සිංදුව උගුඩුවෙක් ගැන. ඇත්තටම කියනවා නම් මං කියවපු, මගේ හිත සසල කල, "ලොකු" ඇටිකෙහෙල් කැනක් වෙනුවෙන්.....

     

Oct 6, 2011

බස්සෙක්, බල්ලෙක් සහ පාන් බාගයක්....

ඇයි වදේ, මම ආසාවට පොඩි වල් ‍ටුවර් එකක් දැම්මොත්, මං යන්නෙ බඩජාරිකමට හැලප ගිලින්ටලු.. උන්දැට හැම බෙනේටම හොට දාන්ට හොඳයි, මං නිකම්ම නිකං බස්සෙක් නිසා මට තියෙන්නෙ බෙනේට වෙලා ඉන්නලු.


නප්පියටම තද වෙච්චි පාර, මඔ ඕන විස්කිරිඤ්ඤයක් වෙන්න කියලා හන්දිය දිහාට පියාඹලා බේකරිය ගාව සියඹලා ගහේ ලෑන්ඩ් කලා. හුටා මේ ටොමිට නේද, තුන් අන්ඩෙන් පැන පැන එන්නෙ? අර මොකක්ද කටේ, හුහ්, මේ නොසන්ඩාලයා අදත් බේකරියෙන් හොරා කාලා නෙව.


"හූම්..හූම්...."
"ෂ්..ෂ්..කෑ ගහන්න එපා බෂ්ෂො. බේකරියෙ පාන් බාස් ආවොත්, මාත් සුං, උඹත් සුං. උඹට ඕනෙ නං කෑල්ලක් කාපං"


ඔය බඩ ගොස්තරේ හොයාගන්ට ඔහොම කලාට, ටොමියා හිත හොඳ එකා. උගෙ අම්මා single parent ලු.තාත්තා කව්ද දන්නෙ නැහැලු.


"බෂ්ෂො, උඹ දන්නවනෙ, මං අනාතයා බව. රට්‍ටු මට නොයෙක් නම් කියලා බනිනවා. ඒත් මට ඉවසන්න බැරි උන් මට අම්මා මතක් කරලා බනින කොටයි"
"හැබෑටම , චෑ, චෑ ඒක කැතයි. මොනව කියලද බොට උන් බැන්නෙ?"
" මට "බැල්ලිගෙ පුතා' කිව්වා"
"ඈ බං, ඉතිං ඒක ඇත්තනෙ"
" ඇත්ත උනාට ඒක කුනුහරුපයක්නෙ. මාත් ඇරියෙ නෑ, හැපුව එකෙක්ගෙ පස්ස, සරං කෑල්ලක් මයෙ කටේ හිටින්න"
"නෑ බං, ඒක කුනුහරුපයක් නෙමෙයි"
"උඹ දන්න ඉටි ගෙඩිය. ඇයි එහෙනං එහෙම කිව්වම, ඇක්මොන් ගොයියා මරතේලිසාගෙ දත් දෙකක් හැලෙන්න හොම්බට ඇන්නෙ?"

පරස්පර

"ඔයාට මාව විස්වාස නෑ නේද?"
" නෑ අවිස්වාසෙකට නෙමෙයි. විස්වාසය කියන්නෙ උපයා ගන්න ඕනෙ එකක්"
" එහෙනම්, කොහොමද මං ඔයාව මෙච්චර විස්වාස කරන්නෙ?"
" මං කවදාවත් කියල තියනවද, මාව විස්වාස කරන්න කියලා?"


ටික දිනකට පසුව......


"කොහෙද ඉන්නෙ?"
" මං මේ වැඩ. හරියට බිසී. ඉඩක් ලැබුනාම කතා කරන්නම්"
" බිසී, හුහ්, අනේ මගෙ කට. අර "ඔන්-ලයින්" ඉන්නෙ. මං නිදාගන්න කං ඉඳලා හැලප ගිලින්න ගිහින් ඇති. නැත්නම් අර අනිත් ගෙම්බියෙක් එක්ක චැට් එකක් දාන්න ඇති"
" ?#!&*$%@:(? " 

Oct 1, 2011

පොත් පොත් ...ලාබයි..ලාබයි

ඔන්න ගුල්ලො නියම පොත් ගුල් දෙකක්, හිතේ හැටියට විදගෙන , විදගෙන යන එකයි ඇත්තෙ. මෙතන අරාබි නිසොල්ලාසයෙ ඉඳන් ඇන්ඩර්සන් ගොයියගෙ සුරංගනා කතා දක්වාම පොත් තියනවා.


http://librivox.org/

http://www.gutenberg.org/


මේ සයිට් දෙකම public domain. ඔය ePUB වගේ portable format එහෙමත් තියනවා.මං කැමති classic පොත් ලිස්ට් එකකුත් දාන්නම්:
The Moonstone

The Moonstone (1868) 
by Wilkie Collins.
19 වන සියවසේ රහස් පරීක්ෂක කතාවක්. 
ලස්සන ආදර කතාන්දරයකුත් ඒ අතරින් 
ගලාගෙන යනවා.ප්‍රථම ඉංග්‍රීසි රහස් පරීක්ෂක 
කතාව කියලා තමයි සැලකෙන්නෙ.



ටොම් පච හෙවත් ඉස්තරම් බේගල් කතා:
The Adventures of
Baron Münchhausen
Don Quixote 




කවදා හරි දවසක අපට අපේ හිංගල පොතුත් මේ වගේ කියවන්න වාසනාව ලැබේවා කියලා පතනවා.මේ දවස්වල බස්සට අමාවක. උගේ ලෝකෙට ආයෙ හඳ පෑව්වාම ඉතිරි පොත් ටිකත් එකතු කරන්නම් :)

Aug 28, 2011

බොම්බයි මොටයි

බොම්බයි මොටයි කියන්නෙ බස්සා පැටියා කාලේ, හරිම ආස කරපු කෑමක්. පොඩි සීනුවක් ගගහා" බොම්බා...යි, මොටා...යි" කිය කිය , ඉඳලා හිටලා ගමට ආපු බොම්බයි මොටයි කාරයා පස්සෙ බකුසු පැටියා පන්නගෙන යනවා දැක්කොත්, අපේ බලු නකුටත් සපෝට් එකට පස්සෙන් දුවගෙන එනවා. ඉතිං අර අසරණ වෙළෙන්දාත් දුවනවා, ඇයි එයා දන්නවයි, මේ නෝන්ජල් බල්ලා කාවත් නොහපන විත්තිය.ඉතිං එදාට බස්සටයි, බල්ලටයි දෙන්නටම හුලං. ඒ වුනත්, බොම්බයි මොටයි ගත්තදාට අර මෝඩ බලු නකුටටත් පංගුව ලැබුනා.. හප්පා, එව්වයෙ රහ.



බොම්බයි මොටයි කියන්නෙ, Candy Floss,Cotton Candy නැත්නම් කැන්ගරුවන්ගෙ Fairy Floss නෙමෙයි. බස්සා රටගිය වෙලේ හිටංම බොම්බයි මොටයි හෙව්වා. මේක ඉන්දියන් රස කැවිල්ලක් බව අනුමාන කරපු බස්ස, එයාලගෙනුත් ඇහැව්වා, ඒත් උන්දලා දන්න බොම්බයි මොටෙක් නෑ. හොයන්නාට සම්බවේ කියනවනෙ, අන්තිමට බොම්බයි මොටාව හම්බ උනා. එයා නම වෙනස් කරලා, වෙස් වලාගෙන උන්නෙ. හුහ්, අපි අහුවෙයි ඕවට. මෙහෙදි එයාගෙ නම Soan Papdi . Sohan papdi නැත්නම් Soam papdi හරි Sohan halva/Patisa කියලත් කියනවා.


මෙන්න බස්සා හොයා ගත්ත බොම්බයි-මොටයි සිංදුව. එයාගෙ හින්දි ටිකාක් මලකඩ කාල නං තමා. ඒත් ඕං ඔහෙලා වෙනුවෙන් දන්න විදිහට පරිවර්තනය කලා:


මං බොම්බයි මොටාව, දිල්ලියත් හෙව්වා,
පූනාත් බැලුවා,
අන්තිමට පට්නා ත් ගියා.
ඔයා එහෙත් නෑ,


අනේ , ඔය හින්දියෙන් ලව් කරන කස්ටියවත් මේකෙ තේරුම දාන්ට. ඉතුරු ටික නං අලද, ගෝවද කියලවත් තේරෙන්නෙ නෑ,  සිංදුවත් ලස්සනයි, කතාවත්ලස්සනයි. පුහ්, බලාන්ටකො එයාගෙ නැ‍ටුම. නම වව්ලා. වව්ලා මොකද, බස්සා මොකද, දෙන්නම පක්ෂියො නොවැ.